මේ වගේ අය ඹබේ කාර්යාලයේ ඉන්නවද....?

ලංකාවේ පරණ වෙළඳ දැන්වීමක්.......

ආදරයේ..... උල්පතවූ අම්මා.....

අන්න හොයනවා.....

ගූගල්ටත් හොයන්න බෑ

රාජකාරී ආදර හසුනක්...

ආදරය හා විවාහය

2030 වසරේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය...





ඉතාලි වෙන්දේසියක්.....

රිය අනතුර.........

උදාර මිනිසා

මෙය ලියා එවන මම තායිලන්තයේ බැංකොක් නුවර සේවය කරන ශ්‍රී ලාංකිකයෙක්මි. සෑම වසරකම මම මගේ දරුපවුලද කැටිව නි‍වාඩුවක් ගතකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙමි. පසුගිය ජූලි/අගෝස්තු මාසයේදීද එසේ වාර්ෂික නිවාඩුව ගතකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියෙමු. අප ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ සිදුවූ, මිලමුදල්වලට මිනිසත්කම පාවාදෙන වර්තමාන සමාජයේ එසේ නොකරන සැබෑ මිනිසුන්ද සිටින බව සනාථ කරන මේ සිදුවීම මා ලියා එවන්නේ එම සත්ක්‍රියාව කළ සැබෑ මිනිසාට උපහාරයක් වනු පිණිසත් සැබෑ මිනිසත්බව භෞතික සම්පත්වලට යටකළ නොහැකි බව උදාහරණ සහිතව පෙන්වා දෙනු පිණිසත්ය.

අප මෙවර ශ්‍රී ලංකාවට පැමිණි කාලයේ මගේ නැන්දණියගේ ඇසේ ශල්‍ය කර්මයක් කිරීම සඳහා ඇය මහනුවර පෞද්ගලික රෝහලක නවත්වන ලදී. බිරිය ඇගේ මව අසළ නැවැත්වූ මම දරු දෙදනාද මස්සිනාද කැටිව මාතලේ ඥාති නිවෙසකට ගියෙමි. ගමන ආරම්භ කිරීමට මත්තෙන්කටුගස්තොට සතොස සුපිරි වෙළෙඳ සැලකට ගිය අපි ඥාති නිවෙසට ගෙන යාම සඳහා ද්‍රව්‍ය කිහිපයක් මිලට ගත්තෙමු. එසේ මිලට ගෙන ම‍ාතලේ ඥාති නිවෙසට ළඟාවූ පසු මට මගේ මුදල් පසුම්බිය සාක්කුවේ නැති බව දැනුණි. මට දෙලොව රත්විය. මගේ සියලු ලියකියවිලි  මුදල් පසුම්බියේ විය. මගේ රාජකාරි හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, තායි රියැදුරු බලපත්‍රය, තායිලන්තයේ හැඳුනුම්පත, ක්‍රෙඩිට් කාඩ්පත්, රුපියල් පසළොස් දහසක පමණ වූ මුදලක් ආදි මේ සියල්ල පසුම්බිය තුළ විය. මේ ලියකියවිලි නැවත ලබා ගැනීම සඳහා ගතවන කාලය,ශ්‍රමය හා මුදලද විඳින්නට වන අතිමහත් දුෂ්කරතාවද සිහිවූ මට හීන්දාඩිය දැම්මේය. වෙනකක් තබා මාතලේට පදවා ගෙන ගිය මෝටර්රථය නැවත මහනුවරට රැගෙන ඒමටවත් මට නොහැකිය. ඒ රියැදුරු බලපත්‍රය නැති නිසාවෙනි. වාසනාවකට මෙන් මගේ මස්සිනා සිය රියැදුරු බලපත්‍රය රැගෙන ගොස් තිබිණි. එකම විකල්පය වූයේ නැවත කටුගස්තොට සතොස සුපිරි වෙළෙඳසැල වෙත ගොස් පසුම්බිය පිළිබඳව සොයා බැලීමය.

අවසන් වතාවට මා මුදල් පසුම්බිය එළියට ගත්තේ සතොස වෙළෙඳසැලෙන් මිලට ගත් ද්‍රව්‍යවලට මුදල් ගෙවනු පිණිසය. කවුන්ටරයකට මුදල් ගෙවන විට පසුම්බිය කවුන්ටරය මත තබන නරක පුරුද්දක් මට ඇත. එකත් එකටම සතොස වෙළෙඳසැලට මුදල් ගෙවන විට කවුන්ටරය මත තැබූ මුදල් පසුම්බිය නැවත ගන්නට මට අමතක වූවා විය යුතුය. අපි සැණෙකින් මාතලේ සිට කටුගස්තොට බලා නැවත පැමිණියෙමු. මාතලේ සිට කටුගස්තොටට කෙසේ පැමිණියේදැයි  මට මතක නැත. පසුම්බිය, විශේෂයෙන්ම එතුළ වූ ලියකියවිලි නැතිවීමේ කම්පනය මට දැඩි ලෙස දැනී තිබිණි. කටුගස්තොට සතොස වෙළෙඳසැලට පැමිණි අපි පසුම්බිය ගැන විමසුවෙමු. එහි සෙ‍්විකාවන්ට එවන් පසුම්බියක් හමුවී නොතිබිණි. කිහිප දෙනෙකුගෙන්ම විමසූ මුත් ලැබුණු පිළිතුර එකම විය. ගිනිගත් හිසෙන් යුතුව එළියට පැමිණි මම අප මෝටර් රථයට ගොඩ වූ තැන පසුම්බිය වැටුණාවත්දෝයි සිතා එතැන පරීක්ෂා කොට බැලුවෙමි. එහෙත් පසුම්බිය එහි නොවීය. කිසිවෙකු පසුම්බිය අහුලා සතොස වෙළෙඳසැලෙන් විමසුවහොත් මගේ දුරකථන අංකය දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි.

මේ මුදල් පසුම්බිය මට නැවත නොලැබෙන බව මට සක් සුදක් සේ පැහැදිලිය. දුරකථනයෙන් අදාල සමාගමට කථා කොට ක්‍රෙඩිට් කාඩ්පත් අවලංගු කළ මම පසුම්බිය නැතිවූ බවට පැමිණිල්ලක් කරන්නට කටුගස්තොට පොලිසියට ගියෙමි. නැතිවූ ලියවිලි නැවත ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය ඇරඹීමට පොලිස් පැමිණිල්ලේ පිටපත් අනිවාර්යය. මා කෝට්ටේ පදිංචිකරුවකු බැවින්  පැමිණිල්ල කෝට්ටේ පොලිසියේම කරන ලෙස කටුගස්තොට පොලිසියේ පැමිණිලි භාරගන්නා නිලධාරියා කීවේය. යම්හෙයකින් පැමිණිල්ලේ තව පිටපත් අවශ්‍ය වුවහොත් ඒවා ලබා ගන්නට කටුගස්තොටටම පැමිණිය යුතු නිසා ඔහු එම උපදෙස දුන්නේය. මේ සිද්ධිය වූයේ බදදා දිනකය. බ්‍රහස්පතින්දා අපි යළි කොළඹ පැමිණියෙමු. පැමිණිල්ල කිරීමට කෝට්ටේ පොලිසියට ගියවිට මා විදේශගතව සිටින බැවින් පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයක් රැගෙන එන ලෙස පොලිසිය මට දැන්වීය. ග්‍රාම නිලධාරි සහතිකය ගැනීමට ග්‍රාම නිලධාරිවරයා සොයා ගියෙමු. ඔහුගේ කාර්යාලය/ නිවෙස පිහිට ස්ථානය විපරම් කරවා ගෙන එය සොයා යන විට සවස හය පමණ විය. මගේ අවශ්‍යතාව ග්‍රාම නිලධාරිවරයාට පැවසීමි. මගේ අවශ‍්‍යතාවයේ හදිසි බවවත් එහි වැදගත්කමවත් ඔහුට නොවැටහුණු සේය. මගේ කතාවට කන් යොමු නොකළ ඔහු පැවසුවේ අද දිනට රාජකාරි කොට අවසන් බවත් නැවත රාජකාරි කරනුයේ සඳුදා දින බවත්ය. සහතිකය ගැනීමට සඳුදා එන ලෙස හෙතෙම දැන්වීය. අඟහරුවාදා රාත්‍රියේ අනිවාර්යයෙන්ම මා තායිලන්තයට පෙරළා පැමිණිය යුතුය. සඳුදා සහතිකය ලබාගෙන  පොලිස් පැමිණිල්ල කොට ලියකියවිලි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වෙලාවක් නැත. ග්‍රාම නිලධාරිවරයාගෙන් කිසිදු සහනයක් ලැබෙන පාටක්ද නැත. පදිංචි සහතිකය නැතිව පොලිස් පැමිණිල්ල කළ නොහැකිය. වැඩේ අතහැර දමන්නට මම තීරණය කළෙමි.  නැවත දිනයක ශ්‍රී ලංකාවට පැමිණ ලියකියවිලි ලබා ගැනී‍ෙම් කටයුතු කරන්නට බිඳුණු හදින් යුතුව මම ඉටා ගත්තෙමි.

සිකුරාදා දහවල මට මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. මගේ මුදල් පසුම්බිය නැතිවූයේදැයි  ඔහු මගෙන් ඇසුවේය. මම ඔව් යැයි පිළිතුරු දුනිමි. මගේ පසුම්බිය හමුවූ කෙනෙකු අප දෙදනා‍ෙග්ම පොදු මිතුරෙකුට කතා කොට ඇති බවත් එම පොදු මිතුරා සතුව මගේ ශ්‍රී ලංකාවේ දුරකථන අංක නැති බැවින් මෙසේ කතා කළ මිතුරා අමතා පණිවිඩය කියූබවත් ඔහු මට කීවේය. වැඩි විස්තර සඳහා අපේ පොදු මිතුරාට කතා කරන ලෙසද ඔහු මට කීවේය. මම අපේ පොදු මිතුරාට කතා කළෙමි. පසුම්බිය ඇහිලූ තැනැත්තා ඔහුගේ අංකය දන්නේ කෙසේදැයි මම විමසුවෙමි. එයත් අපූරු අහම්බයක් විය. මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන විට මට මේ පොදු මිතුරා කටුනායක ගුවන් තොටුපොළේදි හමුවිය.  මා ඔහු දුටුවේ වසර දහයකටත්අධික කාලයකට පසුය. ඔහුට මම මගේ නම සහිත කාඩ්පතක් කටුනායකදී දුනිමි.  එහෙත් එහි වූයේ මගේ තායිලන්ත දුරකථන අංක ය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරන මේ මිතුරා සතුව ‍එවෙලෙහි නම් කාඩ්පතක් නොවූයෙන් ඔහුගේ දුරකථන අංකය කුඩා කොළ කැබැල්ලක ලියා මට දුන්නේය. මම එය එවෙලෙහි පසුම්බියේ දමා ගත්තෙමි. පසුම්බිය ඇහිලූ තැනැත්තා මගේ මිතුරාට කතා කොට ඇත්තේ එම දුරකථන අංකයට ඇමතීමෙනි. මගේ සතුට නිම්හිම් නැති විය. පසුම්බිය ඇහිලූ තැනැත්තා මගේ මිතුරාට කතා කොට තිබුණේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකිනි. (කොමියුනිකේෂන් සෙන්ටර්). කෙසේ හෝ අවසානයේදී ඔහු මටම කතා කළේ එම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට කතා කොට පණිවිඩයක් තබා මගේ දුරකථන අංකය දුන්විටය.  සම්පූර්ණ නම , උපන් දිනය, ලිපිනය ආදී ප්‍රශ්න රාශියක් ඔහු මගෙන් විමසීය. ඒ මගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට විය යුතුය. අවසානයේදි පසුම්බිය ගන්නට කටුගස්තොට ආ හැකිදැයි ඔහු මගෙන් විමසීය. සෙනසුරාදා එන බව මම කීවෙමි. සෙනසුරාදා දහවල් දොළහට පමණ ඔහු මගේ ජංගම දුරකථනයට කතා කොට ආ යුතු ස්ථානය කියන බව හෙතෙම කීවේය.  එහෙත් ඔහු මට ඔහුගේ දුරකථන අංක කිසිවක් දුන්නේ නැත.  තමාට ජංගම දුරකථනයක් නැති බව හෙතෙම කීවේය.  සෙනසුරාදා අපි මහනුවර ගියෙමු.  හරියටම කියූ වෙලාවට ඔහු මට ජංගම දුරකථනයකින් කතා කොට ආ යුතු ස්ථානය කීවේය.  ඔහු කියූ ස්ථානයට අපි ගියෙමු. ඔහු එහි ආවේ ත්‍රිරෝද රියකිනි. මගේ රියැදුරු බලපත්‍රයේ වූ  ඡායාරූපයෙන් මේ ආවේ පසුම්බියේ නියම අයිතිකරුවා බව ඔහු සැක හැර දැනගත්තා විය යුතුය. ඔහුගේ නිවෙසට අප කැටිව ගිය හෙතෙම පසුම්බිය මට දුන්නේය. සියලු ලියකියවිලිද මුදල්ද නොඅඩුව තිබිණි.  එපමණක් නොව ඔහුද බිරියද දරු දෙදනාද අප සාදරයෙන් පිළිගත්හ. දිවා ආහාරයද සූදානම් කොට තිබිණි.

ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඉතා දුකසේ ඉපැයූ මුදලින් නිවෙස බාගයට තනා තිබිණි. මගේ පසුම්බියේ වූ මුදලින් ඔහුට තව සිමෙන්ති කොට්ට කිහිපයක් ගෙනැවිත් නිවෙසේ තව වැඩ ටිකක් කරගන්නට තිබිණි.  එහෙත් ඔහු එසේ කළේ නැත.  ඔහු පසුම්බිය අහුලා තිබුණේ කටුගස්තොට සතොස සුපිරි වෙළෙඳසැල අසළ පාර අයිනේ තිබීය. ඔහුගේ ත්‍රිරෝද රියේ ගිය පාසල් දරුවන් දෙදනෙකු එය දැක ඔහුට කියා තිබේ. ඔහු පසුම්බිය රැගෙන කටුගස්තොට සතොස වෙළෙඳසැල අසල කිහිපවිටක් ගැවසී ඇත්තේද කවුරුන් හෝ එය සොයා ඒවි යැයි සිතමිනි. පසුම්බිය රැගෙන ගෙදර ගිය ඔහු එය පරීක්ෂා කොට ඇත්තේ අයිතිකරු සම්බන්ධ කොට ගත හැකි මොනයම් ක්‍රමයක්  හෝ ඉන් සොයා ගැනීමටය. මගේ මිතුරාගේ දුරකථන අංකය ලියූ කොළ කැබැල්ල ඔහුට හමුවූයේ එවිටය. ජංගම දුරකථනයක් තිබියදීත් මට දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් කතා කළේ ඇයි දැයි මම ඔහුගෙන් විමසුවෙමි. ජංගම දුරකථනයෙන් කතා කළේ නම් වැරදි කෙනෙකුට වුවත් තමා සොයා විත් පසුම්බිය ගත හැකිව තිබූ බව ඔහු කිවේය.

මිහිබට දෙවියෙකු වන් මේ උදාර මිනිසා කටුගස්තොට, උඩතලවින්න, පන්සල පාරෙහි පදිංචි ඒ. ෆවුසර් මහතාය. මේ සටහන ඒ උදාර මිනිසාගේ දෑ, කුල, ආගම් භේද ඉක්මවූ සැබෑ මිනිසත් කමට උපහාරයක් වේවා.

PD
බැංකොක්
තායිලන්තය 

2010 සැප්තැම්බර් 12 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව

බංගලාදේශයේ දක්ෂ කම්කරුවන්...

අනුග්‍රහය - නැන්දම්මා.......

ඇස් රතුවෙන විහිළු

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.