ගිය වාරේ වගේ... / Like last time

(මෙය කැනේඩියානු වනගත පෙදෙසක් පසුබිම් කොටගත් ප්‍රහසනයකි.)

මිතුරු දඩයම් කරුවන් දෙදෙනකු කුඩා ගුවන් යානයක් කුලියට ගෙන වනාන්තර ප්‍රදේශයකට ගොස් වසරක් පාසා කරනු ලබන සුපුරුදු මුව දඩයමේ යෙදුණාහ. මුලින් කතිකා කරගත් ලෙසට සතියකට පසුව ඔවුන් ආපසු රැගෙන යෑමට පැමිණි එම ගුවන් යානයේ නියමුවාට දක්නට ලැබුණේ ඔවුන් සතුව දඩයම් කළ විශාල ප්‍රමාණයේ මුවන් දෙදෙනකු සිටින බව ය.


ඒ දුටු සැණින් විමතියට පත් ගුවන් නියමුවා ඒ ගැන ප්‍රශ්නයක් මතු කළේ ය.
“... මම කලින් ම ඔහෙලට කිව්වනේ... මට ගෙනියන්න පුළුවන්, තවත් එක මුවෙක් විතරයි කියලා...”
ඔහු තරමක අමනාපයෙන් කතා කරන්නට පටන් ගත්තේ ය.
“හොඳටම බර වැඩියි...! එකෙක් දමලම යන්න වෙනවා... නැත්නම් අපි ඔක්කොම අනතුරේ...”
ඔහුගේ නිගමනය විය.
ඒ ඇසූ එක් දඩයම්කරුවකු වහා ඉදිරිපත් වී ඊට විරෝධය පාමින් තර්ක කරන්නට වූයේ එතරම් විශාල මුවකුගේ සිරුරක් එසේ අතහැර යෑම කෙසේවත් කළ නොහැකි දෙයක් බව කියමිනි.
“... ගිය වතාවේ, මේ වගේ ම මුවන් දෙන්නෙක් මේ ප්‍රමාණයේ ම ගුවන් යානයක අපි පටවා ගත්තා නේ.
ඔහු වැඩිදුරටත් තම අදහස තහවුරු කරමින් කරුණු දක්වන්නට විය.
“ඇත්තමද...? එහෙම නං මේ සැරෙත් බලමු...!
ඒ අසා සිටි ගුවන් නියමුවා ද ඊට සිය එකඟත්වය පළ කරමින් අවනත විය.
අවසානයේ මුවන් දෙදෙනාගේ සිරුරු දෙකද අසීරුවෙන් පටවාගෙන ඔවුහු ගමන් ආරම්භ කළහ. නමුත් බර වැඩිවීම නිසා ගුවන් යානය ඉහළ අහසට නැංවීමට නොහැකි ව ගමන අඩාල වී අසල තිබුණු කඳු මුදුණක ගැටී වහා බිම පතිත විය.
“අපි ... මේ.... කොහේද ඉන්නේ...?”
කිසිවක් නිශ්චය කරගත නොහැකිව එකෙක් විමසා සිටි අතර අනෙකා අසල ගල්තලාවක වාඩි වී දෑතින් හිස පිරිමදිමින් මෙසේ පිළිතුරු දෙන්නට විය...!
“... මං හිතන්නේ... පසුගිය අවුරුද්දේ අපි කඩා වැඩුණු තැනට කිලී මීටර් බාගයක් විතර ආසන්නයේ...!”
රීඩර්ස් ඩයිජස්ටි’ ඇසුරෙනි.
මාකොළ ගාමිණී චන්ද්‍රසේන

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.