ප්‍රවීණ සංගීතවේදිනී නන්දා මාලනී ගේ කතාව / Nanda Malini's Story

ඈ ජීවිතේ අභියෝග සියල්ලටම දිරියෙන් මුහුණ දී ජයගත් කාන්තාවක්. ඇය අපේ රටේ බිහිවුණු අසහාය ගායන ශිල්පිනියක වූ විශාරද නන්දා මාලිනී. දෛවයෙන් ඇයට උරුම වූ පරම රමණීය මාධූර හඬින් ලොවක් සනහාලන්නට සමත් වූ ඇය අද සිටින තත්ත්වයට පැමිණියේ කටු කොහොලින් පිරි අතිශය දුෂ්කර මාවතක දැඩි උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ගමන් කරමින්.
“දුක් කම්කටොලු උපේක්ෂාවෙන් විඳ දරාගෙන ජීවිතේට මුහුණ දෙන්නට අවශ්‍ය යෝධබල යෝධ හයියක් මට ලැබුණේ මගේ තාත්තගේ ජීවිතෙන් උගත් පාඩම්වලින්.

දිළිඳු බවේ පත්ලටම එරිලා හිටියත් කිසිවෙකුටත් ණය නොවී, අතපය ශක්තියෙන් හරි හම්බ කරගන්නටත්, ඒ හම්බ කරපු මුදලට සරිලන ආකාරයට ජීවිතේ අවශ්‍යතා සීමා කරගන්නටත් පුංචි කාලෙ ඉඳන්ම අපේ තාත්ත අපිට දීපු ආදර්ශය මටත් මගේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්ටත් මිල කළ නොහැකි පාඩමක්.
ජීවිතේ මා මුහුණ පෑ ප්‍රශ්න හා අභියෝග සියල්ල හමුවේ දිරිමත්ව නැගී සිටින්නට මා පන්නරය ලැබුවේ මගේ පියාගෙන්.” පුංචි කාලෙ මතකය අවදි කරමින් නන්දා මාලිනිය පිළිසඳරට එක්වුණේ එහෙම.
“මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා.” ඒ ඇගේ සම්පූර්ණ නම. ඈ උපන්නේ නවසිය හතළිස් තුනේ අගෝස්තු විසි තුන් වැනිදා කොළඹ කොටහේනේ ඉස්පිරිතාලෙදි.
මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා, නම්වූ ඇගේ පියා එවකට හයිඩ්‍රාමනී සමාගමේ ඇඳුම් කපන්නෙකු ලෙස සේවය කළා.
හයිඩ්‍රාමනී සමාගමේ ඇඳුම් මැහුම් අංශයේ දක්ෂතම ‘කටර් බාසුන්නැහැ’ කෙනෙක් වූ විලියම්ගේ ගම මතුගම වැලිපැන්නෙ වුණත් රැකියාවට යන්න පහසු නිසා ඔහු දරු පවුල සමඟ පදිංචි වෙලා හිටියේ කොටහේනේ ‘කාෂෙට්ටි වත්ත’ හෙවත් හැටේ වත්තෙ.
ලියනගේ එමලින් නන්දාගේ ආදරණිය අම්මා. ඈ දරු නවදෙනෙකුත් රැක බලාගෙන තාත්තගේ රැකියාවටත් අත් උදව් දීගෙන, සැමියා හරිහම්බ කළ දේ බොහෝම අරපිරිමැස්මෙන් විය හියදම් කරගෙන ජීවත් වුණු උත්සාහවන්ත කාන්තාවක්.
පවුලෙ දරුවො නව දෙනෙක්. වැඩිමල් අයියා. නන්දා පවුලෙ හතරවැනියා. හයිඩ්‍රාමනී සමාගමේ දක්ෂතම ඇඳුම් කපන්නා වුණත් තාත්තට ලැබුණු සොච්චම් පඩියෙන් දරු පැටව් නව දෙනෙකුගේ කුස ගින්දර නිවාගන්න ඔහුට යුද්ධයක් කරන්න සිද්ධ වුණා.
ඔහුගෙන් ඇඳුම් මහල පුරුදු අතමිට සරු බරසාර ලොකු ලොකු මහත්තුරු ඔහු ගෙන් වැඩ ගන්න මහ තඩි කාර්බාර්වලින් ඔවුන් විසූ හැටේ වත්තෙ පුංචි ගෙදරට හොයාගෙන ආ හැටි ඈට මතකයි.
වැඩි දෙනෙක් තාත්ත හැඳින්නුවෙ ‘කෝට් බාසුන්නැහැ’ යන නමින්. ඔහු දිවා රාත්‍රී වෙහෙස නොබලා වැඩ කළා. වැඩ පොළේ කටයුතු ඉවර කරගන්න බැරි වුණාම තාත්ත මැහුම් වැඩ ගෙදරත් ගෙනාවා.
අමතර ගාණක් හොයා ගන්න ඔහු කුලියට ඇඳුම් මැහුවා. අම්මාත් ගෙදර වැඩපොළ ඉවර කරලා තාත්තගේ මැහුම්වල අත්වැඩ කළා. මහන කෝට් හොඳ ලස්සනට ක්‍රිස් එක තියලා මදින්න පොල්කටු ඉස්තිරික්කෙට ගිනි පිඹලා අළු විසිරිලා තාත්තගේ මූණ සුදු වෙලා තියෙන හැටි දකින නන්දාට හැම වෙලේම හිතුණේ තාත්තගේ දුක නිවන්න පුංචි උදව්වක් හරි කරන්න පුළුවන්නම් කියන අදහසමයි.
කොයි තරම් අගහිඟකම් තිබුණත් දරු පැටවුන්ට හොඳ ගුණ ධර්ම පුරුදු කරන්න වින්සන්ට් කෝට් බාසුන්නැහැ අමතක කළේ නෑ. අම්මට තාත්තට වැඳලා නින්දට යන්න, හැමදාම හවසට ශබ්ද නඟා ගාථා කියලා බුදුන් වඳින්න, තියෙන හැටියට බෙදාගෙන කාලා ලද දෙයින් සෑහෙන්න, කොයිතරම් අගහිඟකම් තිබුණත් අනුන්ගේ දේ සොරකම් නොකරන්න අම්මත් තාත්තත් දරුවන්ට පුරුදු කළා.
දරු පැටව් නව දෙනෙකුගේ කුස පුරවන එක සුළුපටු කාරියක්යැ. බොහෝ දිනවලට ඔවුන්ට කන්න ලැබුණේ එක වෑංජනේකුයි බතුයි. ඒකත් හිතේ හැටියට බඩ පිරෙන්න නොවෙයි. යාංතම් කුස ගින්න නිවෙන තරමට.
පවුලෙ හැමෝගෙම බෙලෙක් පිඟන් ටික පේළියට තියලා අක්ක බත් මාළු බෙදන සද්දෙට හැන්දෑවෙ මල් පූජා කරමින් ඉන්න නන්දලා ගාථා කියැවෙන වේගෙත් වැඩි වෙනවා. එක මාළුව වුණත් ගේ පුරා සුවඳ පැතිරෙන්න රසට උයන්න අම්මා දන්නවා.
දවස පුරාම දුව පැන ඇවිදල නටලා මහන්සි වෙලා ඉන්න පුංචි එවුන්ට උණු උණුවේ බෙදන බත් පතේ, කරවල හොද්දේ සුවඳට තව තවත් බඩගිනි වැඩි වෙනවා. බඩගිනි වැඩිවෙන තරමට ගාථාවේ ස්වරෙත් වේගවත් වෙනවා. ඒත් මේ වෙනස තාත්තට දැනුණොත් ඉක්මන් කොට වෙනවා. ආයෙමත් මුල ඉඳල නියම තාලෙට ගාථා කියන්න වෙනවා.
උදේ ඉඳන් රෑ වෙනකල් හැටේ වත්තට වෙළඳාමේ එන අන්නාසි වෙළෙන්දො, පැණි බූන්දි කාරයො, බොම්බයි මොටයි කාරයෝ, මාල වළලු විසිතුරු බඩු වෙළෙන්දෝ නන්දලාගේ ගේ පහුකරගෙන යන හැටි බලා ඉන්නට විතරයි ඔවුන්ට ලැබුණේ.
ඈත ඉඳන්ම කෑ ගහගෙන වෙළෙන්දො එන කොට “ඔන්න කිසි දෙයක් ඉල්ලන්න එපා! අද නම් මා ළඟ වැඩිපුර සල්ලි නෑ” කියලා තාත්තා කලින්ම දැනුම් දෙනවා. පුංචි හිත්වල ආසාවල් දෝරෙ ගලා ගියත් තාත්තගේ වචනෙට පිටින් යන්න හැකියාවක් එදා ඔවුන්ට තිබුණේ නෑ.
නන්දා අකුරු කරන්න ගියේ කොටහේනේ ගුණානන්ද විද්‍යාලෙට. පවුලේ වැඩිමලා වූ අයියා නම් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලෙට යවලා උගන්වන්න තාත්තට ශක්තිය තිබුණා.
ඒත් පවුලේ සාමාජිකයන් වැඩි වෙන කොට තාත්තගේ ආර්ථිකය ශක්තිය අනුව ළඟම තිබුණු පාසලට නන්දලාට යන්න සිදු වුණා. ඈ පුංචි කාලේ පාසල් වැඩට හපන්. ඒත් ඈ ප්‍රසිද්ධ මනකල් ස්වරයෙන් අපූරුවට කවි ගායනා කරන්නට.
නන්දාත් අක්කත් මාරු කරගෙන සුදු ගවුම් ඇන්දා. පොත් පෑන් පැන්සල් බෙදා හදාගෙන හැමෝම පාවිච්චි කළා. පාවහන්, හොඳ කෑම බීම ඔවුන්ට සිහින පමණයි. හැමදාම උදේට පාසලට පිටත්වෙන්නට කලින් තාත්තගේ කෝට් සාක්කුවෙන් ශත දොළහක් ගන්නට හැමෝටම අවසර ලැබුණා.
සල්ලි ඇතත් නැතත් තමාට නියමිත මුදල හැර ශතයක් වත් කිසිවෙක් ගත්තේ නෑ. ඒ ශත දොළහ උදේ කෑමට. සල්ලි අරන් පාසලට පිම්මේ දුවන නන්දලා කැන්ටිමෙන් උදේට කනවා.
පාන් කාල ශත 07 යි. මසල වඩය ශත 05 යි. ඒක කාලා වතුර බීපුවම ආයෙ කෑම හැන්දෑවට තමයි. ලැටිස් ගහපු ඉස්තෝප්පු කෑල්ලෙ බුදු පාන තියලා හවසට හැමෝම ගාථා කියලා වැඳලා තමයි කෑමට එන්නෙ.
තමන්ට නියමිත කොටස හැරුණාම කොයිතරම් බඩගිනි වුණත් අමතර කෑම නෑ. කොයි තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් කිසි දිනෙක හොරකම් කළේ නෑ. නීති කඩල අහු වුණොත් තාත්තගෙන් කිසි සමාවක් නෑ. ඉනේ බැඳපු හම් පටි පාර වරදින්නේ නෑ.
ඒ කාලෙ ඉගෙන ගන්නවටත් වඩා ජීවිත සටන ගෙනියෑමත් නන්දලාට ලොකු අභියෝගයක්. අම්ම තාත්ත විඳින දුක බින්දුවක්වත් අඩු කරලා දෙන්න හැකිනම් ඊට වඩා සතුටක් ඒ කාලේ ඈට නෑ.
පවුලේ දරුවන් අතරින් නන්දා තමයි අම්මා තාත්තා ගෙන ගිය ජීවිත සටනට පුංචි කාලෙ ඉඳලාම හැකි තරමින් සහය වුණේ. ගෙදරට බඩු ගේන්න වෙළෙඳ පොළට ගියේ නන්දා. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව අනුව ‘අඩුම මිලට වැඩිම ගොඩ’ ගන්නයි ඈ හැම විටම උත්සාහ කළේ.
එළවළු අම්මලා තෝරලා ගොඩ ගහපු එළවළු ගොඩවල් මිසක් හොඳ හොඳ එළවළු මස් මාළු රාත්තල් නොවෙයි ඈ තෝරගත්තෙ. තොටළඟ කීර කොටුවට උදෙන්ම යන ඈ කීර අම්මාට කනිපින්දම් කියලා ශත දහයකට අලුත්ම අලුත් ලොකු කීර මිටියක් ඉල්ලගෙන එනවා.
එදාට ඈට හරි සතුටුයි. කටට රහට ලුණු ඇඹුල් ඇතුව ඒ කීර මිටිය උයලා ඒක එක්ක විතරක් බත් කන්න පුළුවන් හැටියට උයලා දෙන්න අම්මා දැනගෙන හිටියා.
හැටේ වත්තෙ හැමෝම ඉව්වෙ දර ළිපේ. දර ගේන එකත් පවුලේ ලොකු රාජකාරියක්. දර ගේන්න අසල පිහිටි ගුණසේකර ලී මෝලට යන්නෙත් නන්දා. උදව්වට එන්නෙ ඈ ළඟම මල්ලි. ලී මෝලේ ඉවත දාන ලී කෑලි දරට විකුණනවා.
දර ගන්නට වත්තේ ගෑනු, පිරිමි, ළමයි කොයි කවුරුත් රොක් වෙනවා. සල්ලි දුන්නම හැමෝටම තුණ්ඩු දීලා පෝලිමේ ඉන්නවා මෝලෙ ගේට්ටුව අරින කල්. ගේට්ටුව ඇරපු ගමන් නන්දයි මල්ලියි අනෙක් හැමෝම පෙරළගෙන දුවලා ගිහින් ලොකුම දර ගොඩට පැනලා ඒක අයිතිකර ගන්නවා.
ගෝනියක දාලා ඔලුවේ තියාගෙන දර මිටිය උස්සගෙන ගෙදර එනකොට අක්කයි මල්ලියි ලී කුඩුවලින් නෑවිලා. මේක දැකපු තාත්තා දවසක් ඒ ලෑලිවලින් ම අත් කරත්තයක් හදලා දුන්නා.
ඊට පස්සෙ දරගේන්න යනකොට නන්දා අත් කරත්තෙ ඇදගෙන පිම්මේ දුවන්නෙ මල්ලිත් රජා වගේ ඒ පිට නංගා ගෙන. දර ටික කරත්තෙ පටවලා මල්ලිත් දර ගොඩ උඩ පටවගෙන නන්දා ගෙදර එන්නෙ සතුටින්.
පාසලේ දී නන්දාට ‘කට්ටයා’ කියල නමක් පට බැඳුණේ ඈ හැමදාම පාසලට දැම්මේ කට්ටා සෙරෙප්පු ජෝඩුවක් හන්දා. ශත 50 හෝ 60 ක් දීලා මිලට ගත්තු පාට පාට කට්ටා සෙරෙප්පු ජෝඩුව හැර සුවපහසු විසිතුරු පාවහන් ගැන හිතන්න ඒ කාලේ නැන්දලාට හැකියාවක් තිබුණේ නෑ.
කෝට් කපලා ඉතිරි වුණු රෙදි කෑලිවලින් තාත්ත කලිසම් පොඩි මැහුවේ වත්තේ යමක්කමක් තිබුණු පවුලක ළමයෙක් දෙන්නෙක් ගැන හිතාගෙනමයි. කලිසම් මහලා හොඳට මැදලා කඩදාසි කවරෙකට දාලා ඒව ඒ ඒ ගෙවල්වලට ගිහින් විකුණාගෙන එන්නත් බාර දුන්නෙ නන්දට.
ඈ ගෙයින් ගෙට ගොහින් ඒ ගෙවල්වල නෝනා මහත්තුරුන්ට කන්නලව් කරලා වටිනාකමෙන් බාගෙකටවත් ඒ කලිසම් විකුණා ගන්නවා. හෙට්ටු කරලා ගන්න කලිසමේ මුදල් ගන්න දෙතුන් වතාවක්වත් ඒ ගෙවල්වලට ගාටන්න නන්දට සිද්ධ වෙනවා.
නන්දාගේ වාසනාවේ උල්පත ඇගේ මධුර ස්වරය. ඒ විතරක් නොවෙයි ඇගේ අප්‍රතිහත ධෛර්යය උත්සාහය නොපසුබස්නා ස්වභාවය. මේ සියල්ල පියාගෙන් ඈ වෙත කාන්දු වූ ශක්තියක් ලෙසයි අද ඈ දකින්නේ.
තුනේ පන්තියේදී ඈට ඉගැන්වූ මාග්‍රට් පෙරේරා ගුරුතුමිය තමයි නන්දාගේ ස්වරයෙහි වූ සැබෑ ශක්තිය මුලින් ම හඳුනා ගත්තේ. නන්දා සමස්ත ලංකා තරගවලින් ජයගත්තා.
ඇගේ පන්ති සගයකු වූ වික්ටර් වික්‍රමගේ හැම විටම නන්දාගේ ගායනයට ඩෙස්කුවට තට්ටු කරමින් වාදනයෙන් සහය වුණා ඈට මතකයි. ඒ කාලෙ ඔවුන්ගේ ගෙදර විදුලිය නෑ. ගෙදර තිබුණු රෙඩිපියුෂන් රේඩියෝවෙ උදේ ඉඳල) රෑ වනතුරු පැරණි ගීත අසන්නට ලැබුණා.
සංගීත ජීවිතයේ මුල් පියවර තබන්නට ඈට වරම් ලැබුණේ 1956 දී ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකර සූරීන් මෙහෙයවූ ළමා මණ්ඩපයට සහභාගි වීමට අවස්ථාව ලැබීමත් සමඟ. එතකොට ඈට වයස දහතුනයි.
පාසලේ දී ඇගේ දක්ෂතා හඳුනාගත් ගුරුතුමිය ඈට බොහෝ උපකාර කළා. ළමා පිටියට සම්බන්ධ වූ පසු ගීත රැසකට අත්වැල් ගායනයෙන් සහය වූ නන්දා මුල්වරට තනිව ගැයුවේ ‘බුදු සාදු මම සමන් මලක් වෙන්නම්’ ගීතය.
මධුර හඬින් ගීත ගයන මේ දක්ෂ පාසල් සිසුවියගේ හැකියාව හඳුනාගත් පණ්ඩිත් අමරදේවයන් ඔහුගේ වැඩසටහන් බොහොමයකට ම නන්දා සම්බන්ධ කරගත්තා. එකල ගුවන් විදුලියේ කටයුතු කළ විශිෂ්ටතම ශිල්පීන් හා නිර්මාණකරුවන් රැසක් ඈට දැන හඳුනා ගන්නට ලැබුණා.
මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, මහගම සේකර, එච්.එම්. ගුණසේකර, සෝමදාස ඇල්විටිගල වැන්නන් ඒ අතරින් කිහිප දෙනෙක්. මධුවන්ති වැනි නව වැඩසටහන් මඟින් නිර්මාණ ඉදිරිපත් කළ නන්දා ක්‍රමයෙන් කාර්ය බහුල ගායිකාවක් බවට පත්වෙමින් සිටියේ ඈටත් හොරා.
ගුවන් විදුලියේ එවකට පැවැති ප්‍රසිද්ධතම ආධුනික ගීත තරගය ‘එයාර්ෂිප්’ ගීත තරගය ආරියසේන මිල්ලවිතානච්චි සහ ප්‍රොස්පර් ප්‍රනාන්දු එක්ව ඉදිරිපත් කළා. එයාර්ෂිප් ගීත තරගයට ඉදිරිපත් වූ නන්දා එයින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
දෙවැනි තැන හිමි වූයේ වික්ටර් රත්නායකට. තරගයේ ප්‍රථම ත්‍යාගය ලෙස ලැබුණේ ඉන්දියාවට යාමට සහ ඒමට නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්. එදා වේල පිරිමසාගෙන ජීවත්වූ නන්දාට ඒ ඵලක් නැති තෑග්ගක්.
පියා අමාරුවෙන් කැමතිකරවාගෙන වැඩසටහනනෙහි අනුග්‍රාහක සමාගම වෙත ගියා. තමාගේ නැති බැරිකම කියා තෑග්ගට සරිලන යම් මුදලක් වේ නම් එය ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. සමාගම් බලධාරීන් ඇගේ අවංකභාවය ගැන පැහැදී, අදාළ මුළු මුදලම එවලේ ම ඈට දුන්නා.
නන්දාගේ ඉහේ මලක් පිපුණා. පියාගේ නෙතග කඳුලක් ඉනුවා. “ඉස්සෙල්ලාම තාත්තේ අපි හොඳ තැනකින් ඇතිවෙන්න කමු.” ඈ යෝජනා කළා. තාත්ත එක්ක හෝටලේකට ගොඩ වදුණු ඈට එදා හිතේ හැටියට කෑම ලැබුණා.
එදා බීපු කස ඇට දාපු පාට පාට සරුවත් එකේ රස තාමත් ඇගේ දිවට දැනෙනවා වගේලු. ඒ කටුක අතීතය දැන් ඈ සමරන්නේ උපේක්ෂා සහගත සතුටකින්.
එදා ලැබුණු මුදල නන්දාගේ විතරක් නොවෙයි තාත්තගේ ජීවිතෙත් ඒ වෙනකොට ලැබුණු ලොකුම මුදල. මේ සල්ලිවලින් තාත්තාගේ වෙහෙස නිවන්න පුළුවන් විදුලි ඉස්ත්‍රික්කයක් ගත්තොත්. ගෙදරට විදුලිය නෑ. ඈ විදුලි ඉස්ත්‍රික්කයක් ගත්තා.
රෑ එළිවෙනකල් ඇඳුම් මහන තාත්ත නිදිමත මකා ගන්නෙ කහට උගුරක් බීලා. කහට වක්කරන්න සැරින් සැරේ ළිපට පිඹිනවට වඩා එක සැරේ වක්කරල උණුවතුර බෝතලේකට තේ දාගන්න එක ලේසියි. ලාබයි.
ඈ උණුවතුර බෝතලේකුත් මිලට ගත්තා. එදා නම් පවුලෙ හැමෝටම රස කැවිලිත් ලැබුණා. පස්සෙ ඒ සල්ලිවලින් ම ගෙදරට විදුලියත් ලබා ගත්තා.
නවසිය හැට දෙකේදී මෙරට නිපදවූ ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතුදූව‘ චිත්‍රපටයේ අමරදේව මාස්ටර් පළමුවරට සංගීත අධ්‍යක්ෂණය කළා. නන්දාගේ ආධුනික බව නොතකා ඇගේ හැකියාව ගැන වූ බලවත් විශ්වාසයෙන් අමරදේව සූරීන් ඈ චිත්‍රපටයේ පසුබිම් ගායනයට යොදා ගත්තා.
“ගලන ගඟකි ජීවිතේ” නම් වූ ඇගේ පළමු චිත්‍රපට ගීයෙන් ම 1963 පළමු සරසවි චිත්‍රපට උලෙළේ දී ඈ හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය හිමි කරගත්තා.
මේ වනවිට චිත්‍රපට 126 ක පසුබිම් ගායනය කොට ඇති නන්දා මාලනිය සරසවිය සම්මාන දහ තුනකින් සහ ජනාධිපති සම්මාන එකොළහක් ඇතුළු ජනතා සම්මාන රාශියකින් පුදනු ලැබ සිටිනවා.
නවසිය හැට දෙකේදී සංගීතය හදාරන්නට හේවුඩ් ආයතනයට ඇතුළත් වුණු නන්දා විවාහ දිවියට ඇතුළත් වුණේ නවසිය හැට තුනේදී. 1970 දී ඇගේ වැඩිමල් දියණිය වරුණි රසෝජාත් 1976 දී බාල දියණි අමා සාරධාත් පවුලට එක් වුණා.
ළමා කලා මන්දිරය නම් වූ ඔවුන්ගේ ම ශිල්පායතනයක කලක් සංගීතය ඉගැන්වූ ඈ අතමිට හිඟකම් පියවා ගත්තේ තම නිවසේ කාමර දෙකක රැකියා කරන අයට නවාතැන් පහසුකම් සලසා දෙමින්.
මද කලක් නුගේගොඩ ශාන්ත ජෝන් සහ කඳාන ද මැසිනොද් යන විදුහල්වල සංගීත ගුරුතුමිය ලෙස සේවය කළ ඈ ඇගේ නිවසේ සංගීත පන්ති පවත්වන්නට පටන් ගත්තා. නුගේගොඩින් මිලදී ගත් ඉඩම් කැබැල්ලක බැංකුවෙන් ණයක් ලබාගෙන, කෑල්ලෙන් කෑල්ල ටික ටික ගෙයක් හදා ගත්තා.
ඒ වනවිට රටේ ප්‍රමුඛ පෙළේ ගායිකාවක් වූ නන්දා කාර්ය බහුල ශිල්පිනියක් බවට පත් වෙලා. දරුවන් දෙදෙනාට යහපත් අනාගතයක් තනා දෙන්නට ඈ දිවා රෑ වෙහෙසුණා.
“ශ්‍රවණ ආරාධනා” ඈ රසික හදවත් මෝහනයට පත් කළ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය. අනතුරුව ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’ ප්‍රසංග සමඟ දේශයේ හඬ අවදි කරමින් ඈ රට පුරා ගියා.
දේශපාලන අන්තවාදීන් ගේ තර්ජන ගර්ජන හේතුවෙන් වසරකට අධික කාලයක් ඈ සැඟව සිටියා. ද්‍රවිඩ භාෂාව ගැන, ඉන්දියානු ජන සංගීතය ගැන අධ්‍යයනය කරන්නට ඈ ඒ කාලය කැප කළා.
1982 දී නන්දා ඇගේ සංගීත ආශ්‍රමය ඇරඹුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසය දෙනෙකුගෙන්. පුරා වසර 25 ක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන සංගීත ආශ්‍රමයෙන් සංගීත ශිල්පීන් හෝ ගායන ශිල්පීන් බවට පත්වූ සිසු පරපුරක්ම ඈට සිටිනවා.
සංගීත ශාස්ත්‍රය වගේ ම ජීවිතය ගැන බොහෝ පාඩම් ඈ ඇගේ සිසු සිසුවියන්ට කියා දෙන්නේ ස්වකීය ජීවිත අත්දැකීම් ආදර්ශයට ගනිමින්. බොහෝ දුක් කම්කටොලු මැද අභියෝග රැසකට මුහුණ දෙමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව ජීවිතය ජයගත් දිරිය කාන්තාවක් ලෙසත්, යුතුකම් ඉටු කළ ආදරණීය මවක් ලෙසත් රටට ණය නැති පින්වත් දියණියක් ලෙසත් නන්දා මාලනී අද දිවි ගෙවන්නේ අතිශය තෘප්තිමත් හැඟීමකින්.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.