සිළුමිණ සිනා කතා / Silumina Jokes - 22-05-2011

පින්තූරේ හැටි

අරුණට මීයන්ගෙන් තිබුණේ පුංචි පහේ කරදරයක් නෙමෙයි. කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැහැ. රෑට කුස්සියට බැහැලා කා දානවා. සාලෙ තියෙන පලතුරකට වුණත් හොට දානවා. බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා. මී කතුර විකුණූ වෙළෙඳ සේවකයා
එයට චීස් කෑල්ලක් සවිකොට එය නිවෙසේ රඳවා තබන ලෙස කිව්වත් රෑ මී කතුර අටවන්නට ලෑස්ති වෙද්දී ඔහුට ඒ සඳහා චීස් කෑල්ලක් සොයාගන්නට බැරිවුණා. ඒ සඳහා සුදුසු විකල්පයක් ගැන කල්පනා කළ ඔහු චීස් කෑල්ලක පින්තූරයක් කපලා එය මී කතුරට සවි කොට උගුල අටවා තැබුවා.
පහුවැනිදා උදේ බලනකොට මී කතුරට අහුවෙලා තිබුණේ මීයෙකුගෙ පින්තූරයක්.


අපූරු බෙහෙත

චිත්‍රපට නිෂ්පාදක දැරණියගලට තම උදරය වුවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති බව දැනුණේත් එය අසුන්දර ලක්ෂණයක් බව වැටහුණේත් ඔහු සමඟ මෑතකදී හාද වූ චිත්‍රපට නිළි කුසුම්රාණි, තමා හා තනිවූ මොහොතක කළ සරදමක් නිසාය. ඔහු වහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තම උදරය අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර පැතීය.
වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු දැරණියගල කෙළින්ම ගියේ කුසුම්රානි ගේ නිවෙසටය. ඔහු පෙති පිරවූ ලොකු බූලියක් ද රැගෙ එනු දුටු කුසුම් දෑස් මහත් කොට මෙසේ ඇසුවාය.
”මගෙ අම්මෝ! ඩගී මේ පෙති ඔක්කොම බොන්ඩද?”
”නෑ.. නෑ.. ළමයෝ බොන්ඩ නෙමෙයි. ඩොක්ටර් කිව්වේ උදේ හවස මේ පෙති ගෙදර සාලෙ මැද්දෙ හලලා, එකින් එක අහුලලා ආපහු බූලියට දාන්ඩ කියලා. ඒ විදියට මාසයක් කළාම බඩ හොඳටම බහියි කියල ඩොක්ටර් කිව්වා.” දැරණියගල කීවේ බඩ අතගාමිනි.


එහෙනං කමක් නෑ

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.
”කවුද ඕයි ඔය කතාකරන්නෙ?” ඔහු එම කෝපයෙන්ම ඇසීය.
”මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක” දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.
”මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?” භටයා එවර ඇසීය.
”නෑ.. මං දන්නෙ නෑ.” එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.
”ආ.. එහෙම නං කමක් නෑ.” කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.


දෙවිදිහ

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.
”තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න”
”ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා.” චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.
”මොකක්ද ඒ දෙවිදිහ” ලලිත් ඇසුවේ කුතුහලයෙනි.
”ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි” චන්ද්‍රසේන කීවේය.


ලැහැස්ති වුණාට කමක් නැහැ

”මංගල දර්ශනේ බළලා ඔයගොල්ලන්ගෙ අම්මලා බොහොම ඉහළින් වර්ණනා කරපු විතානගේ ගෙ අලුත් කොමඩි නාට්‍යය බලන්න ඔන්න මං ටිකට් දෙකක් ගෙනාවා.” දවසේ වැඩ කටයුතු නිමා කොට නිවෙසට පැමිණි ලසන්ත, සාලයේ වාඩි වී රූපවාහිනිය නරඹමින් සිටි නන්දිශාට කීවේය.
”හානේ ඇත්තද? එහෙනං මම දැන්මම ලැහැස්ති වෙන්නම්” වහා නැඟිට රූපවාහිනිය ක්‍රියා විරහිත කරමින් ම නන්දිශා කීවේ සතුටිනි.
”ඔව් ඉතින්, ඔයාට අඳීන්ඩ පළඳින්ට යන වෙලාවේ හැටියට කමක් නෑ. නාට්‍යය තියෙන්නෙ හෙට හවසට.” ලසන්ත කාමරයට යන ගමන් කීවේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.