විභාගය සමත්වීම සඳහා භාරහාරවීම / Vow for the better exam results

ළමයින්ගේ විභාග සමත්වීම සඳහා දෙමව්පියන් විසින් නොයක් අන්දමේ භාරහාර වීම දැන් දැන් සාමාන්‍ය සිද්ධි බවට පත්වී තිබේ.

පසුගිය දවසක, උසස් රැකියා කරන, එක්තරා උගත් මව්පිය දෙපලක්, බොරලැස්ගමුව ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකට. විභාගයකට පෙනීසිටීමට සිටින තම පුතාද ඊට බාල දියණියද තවත් ළමයින් කීප දෙනෙකුද කැටුව ගියෝය. තම පුතා වෙනුවෙන් කිසියම් භාරයක් වීම ඔවුන්ගේ අරමුණ විය.  පළමුවෙන්ම බුදු රජාණන් වහන්සේට මල් පහන් පුජාකොට, සියළු වන්දනා මානාදිය කරන ලදි.

අනතුරුව, දේවලය වෙත ගියේ, දෙවියන්ට පිං දී, අවශ්‍ය භාරය වීම සඳහාය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පංසලේ හාමුදුරුවෝ, පිරිසගේ අවශ්‍යතාවය කුමක් දැයි විමසා බලා, ගණ දෙවියන්ට භාරයක් වෙන ලෙස දන්වා සිටි සේක. එපමණින් නොනැවතුන ස්වාමීන් වහන්සේ දේවාලය තුළ වූ ගණදෙව් රුව මිදුලට රැගෙන එන ලෙස අදාළ දරුවාගේ පියාට දන්වන ලදහ. පසුව විශාල බේසමක් ගෙන එහි වතුර පුරවා දෙව්රුව එහි බහා නාවන ලෙස මෙම පියාට වාදාළහ. හාමුදුරුවන් විසින් අනුදැන වදාළ පරිදි දෙව්රුව නාවන ලදි. ෂැ‍ම්පෝ ටිකකුත් ගාන්න අවශ්‍යදැයි එතන සිටි ළමයෙකු විසින් අසන ලදි. මෙම වදන් ඇසූ ස්වාමීන් වහන්සේ අතුළු සැමටම සිනහ පහළ විය.

ඉන් අනතුරුව සිදුවූ දෙය නම් අප මින් පෙර අසා නැත. ගණ දෙවියන් උකුලේ හොවා නළවනවා නම් උන්වහන්සේ බෙහෙවින් සතුටුවන නිසා, දොයි දොයි දොයි, දොයිය බබා, බයි බයි බයි, බයිය බබා, කියමින් දෙව්රුව නළවන ලෙස හාමුදුරුවන් විසින් දන්වන ලදහ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ වෙන විකල්පයක් නොවූයෙන්, අදාළ දරුවාගේ පියාට ගණදෙව් රුව නැළවීමට සිදුවිය.

මෙතරම් දියුණු ලොවේ, මෙවැනි අනුවන වැඩ කරන උගත් පිරිස් සිටීම, පිටතින් සිට බලන අයට මහත් ප්රහේලිකාවකි.

මෙය සත්‍ය සිද්ධයකි.

බීඑච්ඩී.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.