සිළුමිණ සිනා කතා / Silumina Jokes 09-10-2011


ඉගැන්වූ පාඩම


මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”
“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.
“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”
“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”
“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”
මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.
“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”
“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.
“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.

කලින් දඬුවම


එක් සවසක අපිත් ඉවක් බවක් නැතිව තම පුතාට තලද්දී පොඩි එකා මරහඬ දෙමින් කෑගසන්නට විය. එම හඬට අල්ලපු ගෙදර අන්කල් තාප්පයෙන් හිස පොවා බලා මෙසේ ඇසීය.
“ඇයි අජිත්, තමුසෙ ඔය පොඩි එකාට ඔය විදියට තලන්නෙ? මොන වැරැද්දක් කළාට ද?
“හෙට මෙයාගෙ ඉස්කෝලෙ විභාගෙ රිපෝට් එක ලැබෙනවා. ඒත් මං හෙට ගෙදර නෑ. උදේම දුර ගමනක් යනවා. ආයි එන්ඩ වෙන්නෙ සුමානෙකට පස්සෙ. එසේ කී අජිත් නැවතත් කොලුවාට තලන්නට විය.

තුනක් මොකටද?


නව දුම්රිය සාමාන්‍යාධි කාරි වරයා කඳු කරයේ පිහිටි දුම්රිය ස්ථානයක් නිරික්ෂණය කිරීම සඳහා ගියේ ය. එයට ගොඩවන විට වේලාව උදේ 9.30 බැව් හෙතෙම තම අත් ඔරලෝසුව දෙස බලා සහතික කර ගත්තේ ය. දුම්රිය ස්ථානයේ ආලින්දයේ ටිකට් කවුන්ටරය ඉදිරිපිට බිත්ති ඔරලෝසුවේ වේලාව 9.40 ලෙස සටහන් වි තිබුණි. මදක් එහායින් වූ පාර්සල් භාර ගන්නා කාමරයේ බිත්ති ඔරලෝසුවේ වේලාව 9.25 විය. ඔහු වහාම දුම්රිය සාමාන්‍යාධිකාරිගේ කාමරයට ඇතුළු වුණේ ය. එහි බිත්ති ඔරලෝසුවේ වේලාව 9.35 විය.
“මොකක්ද මේකෙ තේරුම අයිසෙ? මේ ස්ටේෂන් එකේ ඔරලෝසු තුනම වෙලාවල් තුනක්. ඒ ගැන තමුසෙට මොනවද කියන්න තියෙන්නෙ. සාමාන්‍යාධිකාරිවරයා ඇසුවේ සිය කෝපය අසීරුවෙන් යටපත් කරගනිමිනි.
ඔරලෝසු තුනේ ම එකම වෙලාවක් තියෙනවා නම් ඔරලෝසු තුනක් වැඩක් නැහැනෙ සර්? ස්ථානාධිපතිවරයා ගණනකට නොගෙන සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.

ඉවත් විය යුත්තේ කොහෙන්ද?


වියට්නාම යුද්ධය පැවති අවධියේ දී ඇමරිකාවේ ඈත ප්‍රාන්තයකට ගිය එන්.ජී.ඕ. නිලධාරීන් පිරිසක් එහි රතු ඉන්දියානු ගමක වැසියන් හමුවී ඇමරිකන් ජනාධිපති වියට්නාමයෙන් ඉවත්විය යුතු ද යන ප්‍රශ්නය ඔවුන් වෙත යොමු කරමින් සමීක්ෂණයක් කෙළේ ය.
රතු ඉන්දියානුවන් ගෙන් සියයට 10 ක් පවසා තිබුණේ ඇමරිකන් ජනාධිපති වියට්නාමයෙන් ඉවත්විය යුතු බවයි. ඉතිරි සියයට 90 ම ස්ථිරවම පවසා තිබුණේ ඇමරිකන් ජනාධිපති ඇමරිකාවෙන් ඉවත් විය යුතු බවයි. 

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.