සිළුමිණ සිනා කතා / Silumina Jokes 11-12-2011

වෙන කවුද?


හේ පැරණී, වයෝවෘද්ධ දේශපාලනඥයෙකි. අලුත දේශපාලන පොර පිටියට පිවිසි තරුණ දේශපාලනඥයකු විවාහ මංගල්‍ය උත්සවයකදී පැරැන්නාගෙන් මෙසේ ඇසීය.

’සර්ගෙ ජීවිතයේදි සර්ට ලැබුණු නරකම උපදේශය මොකක්ද?’
මඳක් කල්පනා කළ වයෝවෘද්ධ දේශපාලනඥයා මෙසේ පිළිතුරු දුන්නේය.
’මට ලැබුණු නරකම උපදේශය තමයි මගෙ නෝනාව කසාද බඳින්ඩ කියලා කියපු එක.’
’කවුද සර්ට ඒ උපදේශය දුන්නෙ?’ තරුණයා කුතුහලයෙන් ඇසීය.
’මගෙ නෝන ම තමයි.’ වයෝවෘද්ධයා කීවේය.

එහෙම වෙන්ඩ ඇති


’පි‍්‍රයන්ත, තමුසෙ ජයසේකර එක්ක කියලා තියෙනවා මම බොරුකාර කපටියෙක්, පල් හොරෙක් කියල. ඒක ඇත්තද?’ කැන්ටිමේදී තම කාර්යාලයීය සගයකු වූ පි‍්‍රයන්ත ගෙන් ශාන්ත ඇසුවේ ආවේගශීලීවය.
’මට නං එහෙම කතාවක් කිව්ව වගක් මතක නැහැ. එහෙම කිව්වා නං ඇත්ත වෙන්ඩ ඇති.’ පි‍්‍රයන්ත සන්සුන්ව පිළිතුරු දුන්නේය.


වටිනාකම


’අම්මේ මං කොයිතරම් වටිනවද?’ පාසල් යාම සඳහා සූදානම් වූ දිලිනි තම මවට හාදුවක් දෙමින් ඇසුවාය.
’මගෙ දුව, මට කෝටියකට වඩා වටිනවා.’ යමුනා තම දියණිය පෙරළා සිප ගනිමින් කීවාය.
’එහෙනං මට ඒ වටිනාකමෙන් රුපියල් සීයක් දෙනවද?’ දිලිනි ඇසුවාය.


පවර් එකේ තරම


දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘සිග්නල්මන්’ කෙනකු ලෙස සේවය කළ ලෙස්ලි තම බිරිඳ සමඟ කන්ද උඩරට බලා දුම්රියෙන් යමින් සිටියේය.
’ඔයා දන්නවද මට තියෙන පවර් එක. මට පුළුවන් ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදි, ඕනෑම කෝච්චියක් නවත්වන්න.’ ලෙස්ලි තම බිරිඳට කීවේය.
’නන්දනී කිසිවක් නොකියා අවඥාවෙන් කට ඇද කරනු දුටු හේ ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස, රේල් පාරට පැන රතු කොඩියක් වැනී ය. එතැනින් යන්නට ආ එක්ස්ප්‍රස් දුම්රියක් වේගයෙන් පැමිණ ලෙස්ලි සිටි තැනට ආසන්නයේම නතර විය. එතැනට දිව ආ දුම්රියේ ගාඩ් තැන ලෙස්ලිගෙන් මෙසේ ඇසීය.
’ඇයි මොකද වුණේ?’
’මුකුත් නෑ!’ ලෙස්ලි සැහැල්ලුවෙන් සිනාසී කීවේය.
අත දිගහැර ලෙස්ලිට වැරෙන් කම්මුල් පහරක් ගැසූ ගාඩ්තැන ආපසු හැරී ගොස් දුම්රියට ගොඩ විය.
’කෝ... ඕකද තමුසෙගෙ මහ ලොකු පවර් එක!’ නන්දනී අවඥාවෙන් ඇසුවාය.
’මං මගෙ පවර් එක පෙන්නුවා. එයා, එයාගෙ පවර් එක පෙන්නුවා. එච්චරයි.’ ලෙස්ලි කම්මුල අතගාමින් කීවේය.


බටර් එන්නෙ කොතැනින් ද?


නගරය සහ එහි චර්යාවන් මිස ගම පිළිබඳව කිසිවක් නොදත් අරුණ ප්‍රථම වරට එළදෙනෙකුගෙන් කිරි දොවනු දුටුවේ කොළඹින් බොහෝ දුර බැහැර ගමක පිහිටි තම බිරිඳගේ මහගෙදර දීය.
’එතකොට ඔය එළදෙනගෙ බටර් එන්නෙ කොතැනින්ද?’ කිරි දොවමින් සිටි නිශාන්තිගේ පියාගෙන් අරුණ ඇසීය.


වෙන්ඩ බැහැ


එක් දේශපාලනඥයකු පත්තර කන්තෝරුවක ප්‍රධාන කර්තෘගේ කාමරයට කඩා වැදුණේ කෝපයෙන් වෙවුලමිනි.
’තමුසෙලගෙ පත්තරේ ඊයේ, පෙරේදා දවසක දාලා තිබුණද මං ලොකු බොරුකාරයෙක්, කපටියෙක්, වංචාකාරයෙක් කියල?’ ඔහු කෝපයෙන් දත්මිටි කමින් ප්‍රධාන කර්තෘගෙන් විමසීය.
’වෙන්ඩ බැහැ. දේශපාලනඥයො ගැන ඇත්ත තොරතුරු අපේ පත්තරේ පළ කරන්න නැහැනෙ ඇමැතිතුමා.’ දෙබැම ඉහළට නංවමින් ප්‍රධාන කර්තෘතුමා කීවේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.