Helping neighbor /ඉන්නේ වැල්ලවත්තේ බහින්නේ පාණදුර


යූ. ආරියවිමල් වේදිකාවේ සිටි අති දක්‍ෂ නළුවෙක්. ආරි පදිංචි වෙලා හිටියේ වැල්ලවත්තේ. ගාලුපාරෙන් හැරිලම යන අතුරු පාරක. ඔහු දවසක්දා නාට්‍ය දර්ශනයක් අවසන් වෙලා පිටකොටුවෙන් පාණදුර බලා යන බස් රථයකට ගොඩ වුණා. බස් රථය බම්බලපිටිය පසුකරද්දී ඔහු හදිසියේම දුටුවා, තමන් වාසය කරන අතුරු පාරේ නිවැසියෙක් බස් රථයේ ඉන්නවා. ඔහුට හොඳටම නින්ද ගිහිල්ලයි තිබුණේ. වෙලාව රෑ 10 ත් පහුවෙලා.


මේ මනුස්සයා නින්ද නිසා බහින තැන ගැන නිනව්වක් නැතුව මේ මහ රෑ දුර ගියොත් කියල දුක හිතුන ආරි බස් රථයෙන් බහින ගමන් අර මනුස්සයවත් කූද්දා ගෙන ඔහුත් එක්කම වැල්ලවත්තෙදි බස් රථයෙන් බැහැ ගත්තා. බස් රථයෙන් බිමට බැහැලා අර මනුස්සයා දෑස් පිහදාලා වටපිට බලලා පුදුමයෙන් වගෙ ආරි දිහා බැලුවා.
’මේ වැල්ලවත්තනෙ.’
’ඔව්, වැල්ලවත්ත තමයි. ඔහේ ඉන්නෙ අපෙ ලේන් එකේ ම නෙ. නින්ද ගිහිල්ලා තිබුණු හින්දයි මම කථා කළේ?’ ආරි හිනාවෙලා කිව්වා.
’ඇයි අයිසෙ මම පාණදුරේ අපේ ලොකු දුවගෙ ගෙදර යන්ඩනෙ පිටකොටුවෙන් බස් එකට නැග්ගෙ. දැන් බලනවා, මේ රෑ මම කොහොමද එහෙ යන්නෙ? පාණදුරෙන් බැහැලා ටිකක් දුර පයින් යන්ඩත් තියෙනවා. තමුසෙ ඕනෙ නැති පැහිච්ච වැඩක්නෙ කළේ.’ අර මෑන් කියවන්ඩ ගත්තා.
ආරිට තමන්ටම ටොක්කක් ඇන ගන්ඩ හිතුණා. ‘වඳින්ඩ ගිය දේවාලෙනෙ හිසේ කඩා වැටුණේ’ කියල හිතූ ආරි මෙහෙම කිව්වා.
’හරි හරි, ඔහෙ බය වෙන්ඩ එපා. මම ඔහේව බස් එකක නග්ගන්නන්කෝ.’
’හරි තමයි. දැන් බලනවා දුව කෑමත් තියාගෙන බලාගෙන ඉන්නවා මං එනකං. චන් කීයටද මං රෑට කන්නෙ. මට හොඳටම බඩත්ගිනියි.’ අර මනුස්සයා ආඩපාලි කියන්න ගත්තා.
’අර කඩෙන් මොනවා හරි කමුකො.’ කියලා රෑ කඩේකට ගිහින් ඒ මනුස්සයට කන්ඩ අරන් දීලා, බස් කීපයක් ම නොනැවැත්වූ නිසා ලොරියක් බොහොම අමාරුවෙන් නවත්තලා ඔහුව පාණදුරේට පිටත්කරලා මධ්‍යම රාත්‍රිය ළඟා වෙද්දි ආරි ගෙදර එනකොට ඔහුගේ බිරිය පුදුමවෙලා බලා ඉන්නවා මේ මනුස්සයට මොකද වුණේ කියල.
ආරි රූපවාහිනියෙදි වරක් ආර්.ආර්. සමරකෝන්ගේ ‘ජේලර් උන්නැහේ’ නාට්‍යය වෙනුවෙන් ‘ඇහැට කනට’ නම් වූ වැඩසටහන නිෂ්පාදනය කළා. එහි රූපගතකිරීම් යෙදුණු දා ආරිත්, සමරකෝනුත්, තවත් කලා ශිල්පීන් කීප දෙනෙකුත් රූපවාහිනියෙ ලොබියෙ කතා කරමින් හිටියා. ඒ දිනවල අති ජනපි‍්‍රය යොවුන් නිළියක් හදිසි අනතුරකින් මිය ගියේ ඊට දින දෙකකට පෙර. අපේ ජනපි‍්‍රය නළුවෙක් එම අනතුරේ විත්තිකරුවකුව රිමාන්ඩ් භාරයට පත්වුණා. ඒ මොහොතේ පුවත්පතක මුල් පිටුවේ වූ ඡායාරූපයක් දැකලා මම මෙහෙම කිව්වා.
’මේ යකා අපරාදෙ මේ පාර නං එල්ලුම් ගස් යනවා.’
’පිස්සුද බං, ඔය කේස් එක ඔප්පු කරන්ඩ බෑ. මූ කිසි ප්‍රශ්නයක් නැතුව නිදහස් වෙනවා.’ ආරි පිළිතුරු දුන්නා.
’බම්බුව තමයි. උඹ කොහොමද එහෙම කියන්නෙ. මේකා එල්ලුම්ගස් යනවට මෙන්න සාක්කි!’ මම අතේ තිබූ පත්තරය ආරිට දිගු කළා. ඒ පත්තරේ තිබුණේ, ඒ නඩුවට පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥයකුගේ සහාය නීතිඥයන් පිරිසක්, රිමාන්ඩ් බන්ධනාගාරයේදි අපේ නළුවා හමුවූ අවස්ථාවක ඡායාරූපයක්. ඒකෙ හිටියා නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ නීතිඥයෙක්.
’මූනෙ බං මේකට පෙනී ඉන්නෙ. ඉතින් අපේ කොලුවා බේරෙයිද?’ මං ඇහැව්වා. ආරිට මේ විහිළුව දරාගන්න බැරුව සතුටෙන් උඩ පැන්නා. මොහොතකින් අපි රූපගත කිරීම් සඳහා එතැනින් විසිර ගියා. දවල් මම මොකක්දෝ උවමනාවකට රූපවාහිනියෙන් එළියට ආවා. ගුවන් විදුලියේ සුගතපාල ද සිල්වා ඒ වෙලේ මා ඉදිරියට එනවා. මා දුටු ගමන් පුළුල් සිනහවක් පෑ සුගත් මට අත වැනුවා.
’එඩ්වඩ්, උඹ දන්නවද වැඩක්. අර කේස් එකෙන් අපේ නළුවා එල්ලුම් ගස් යනවා බං.’ ඔහු කිව්වා.
’ඇයි සුගත් අයියා එහෙම කිව්වේ?’ මම ඇහැව්වා.
’ඇයි කියන්නෙ? ඇයි බං අපේ නීතිඥයානෙ ඒකට ඇපියර් වෙන්නෙ.’ සුගත් අයියා මහ හඬින් හිනාවෙමින් කිව්වා.
ආරි මොන තරම් වේගයකින් අර කතාව සන්නිවේදනය කරලද කියල හිතමින් මා ඉවත ගියා.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.