සිළුමිණ සිනා කතා / Silumina Jokes 01-10-2012


එහෙම නෙමෙයිද?


”අංකල්, ඔයා සත්තු වත්තෙ ද ඉන්නෙ?” තමා වෙත පිරිනැමුණු තේ කෝප්පය තොලගාමින් පරාක්‍රමගේ අලුත් ටෙලි නාට්‍යයේ ව්‍යාපෘති වාර්තාව කියවමින් සිටි දීපාල් වෙත ආ පරාක්‍රමගේ කුඩා දියණිය තොෙඳාල් බසින් ඇසුවාය.
”නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?” කුඩා දියණියගේ හිස අතගාමින් දිලිප් ලතාවකට ඇද පැද ඇසුවේය.

”එහෙනං අන්කල් එන්ඩ කලින් තාත්ති අම්මට කිව්වෙ ‘දැන් අර කොටියා මෙහෙ ඒවි. ඔයා එහෙම ඒකා එක්ක වැඩිය කතාවට යන්ඩ එපා; කියල” දියණිය සුරතල් බසින් පිළිතුරු දුන්නාය.


එහෙම නැතුව පුළුවන්ද?


”ඈ මිස්ටර් කරුණාදාස, මැරුණේ රජිතගෙ මහත්තයගෙ මල්ලි නේද? අපිත් ගියානෙ මළ ගෙදර. රජිතා බිම පෙරළි පෙරළි අඬ අඬා හිටියෙ හරියට මහත්තයා මළා වගෙනෙ.” තම කාර්යාලයේ යතුරු ලේඛිකාවක වූ රජිතාගේ නිවෙසේ වූ අවමංගල්‍යයක් ගැන සඳහන් කරමින් අයිරාංගනී තම කාර්යාල සගයකු වූ කරුණාදාස ගෙන් ඇසීය.
”ඉතින් ඒක අරුමයක්යැ අයිරාංගනී මිස්. ඔයා දැක්කෙ නැද්ද රජිතගෙ පුතණ්ඩියා? ඒකා ඔය රජිතගෙ මැරුණු මස්සිනාගෙ කපාපු පළුවනෙ. අනික මස්සිනා හිටියෙත් රජිතලගෙ ගෙදරම ඉස්සරහ කාමරේනෙ” කරුණාදාස හක හක ගා සිනාවෙමින් කීවේය.


එහෙනං කමක් නෑ


හේරත් ඉතා දැඩි ලෙස පොත පත පරිශීලනයට ඇබ්බැහි වී සිටි, නාට්‍යකරණයේ ද නියැළුණු එහෙත් චිත්‍රපට බැලීම මුළුමනින් ම ප්‍රතික්ෂේප කළ අයෙකි. ‘විජයකුවේණි’ චිත්‍රපටය බලන්නට යමු යැයි ඔහුගේ දරුවන් දිගින් දිගටම ඇවිටිලි කළෙන් ඔහු තම බිරිය ද, දරුවන් හය දෙනා ද කැටුව චිත්‍රපට ශාලාව වෙත ගියේ එතරම් ප්‍රසාදයකින් නොවේ.
හේ සිනමා ශාලාවේ ප්‍රවේශ පත්‍ර කවුළුවට කිට්ටු වී එහි සිටි අයගෙන් මෙසේ ඇසීය.
”ළමයින්ට භාගෙද අය කරන්නෙ?”
”ඔව්.. හැබැයි දොළහෙන් පහළ නම් විතරයි” කවුන්ටරයේ සිටි තැනැත්තා අවධාරණය කළේය.
”එහෙනං ප්‍රශ්නයක් නෑ. මට ඉන්නෙ හය දෙනෙක් විතරයි” හේරත් කවුන්ටරය වෙත මුදල් දිගු කරමින් කීවේය.


බොරු කාරයෝ


”අපේ ඇමැතිතුමා ඉන්නවා නේද? එතුමා හරි කෙළින් වැඩ කරන කෙනෙක්. ඕනෑම දෙයක්, ඕනෑම කෙනකුට මූණටම කියනවා. ආයි හැංගි හොරා වැඩ නෑ. ඒ වගේම තමයි උන්නැහේට බොරු කාරයෝ පෙන්නන්ඩ බෑ.” ඩග්ලස් එසේ කීවේ ධාතු ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු සඳහා පැවැති රැස්වීමට පැමිණි සේරසිංහ හමුවූ අවස්ථාවේදීය.
”ඇත්තට.. එහෙනං එතුමා මෙච්චර කල් තමුසෙව ළඟ තියාගෙන ඉන්නෙ මොකද?” සේරසිංහ පුදුමයෙන් විමසීය.


සතුට සහ දුක


”මිස්ටර් චන්ද්‍රසිරි මම පහුගිය සති දෙක තුනේ ඔයා ලියපු විහිළු කතා ඔක්කොම කියෙව්වා. ඒවා බලලා මම හොඳටම හිනාවුණා.” ගුණධීර මහතා දුරකථනයෙන් චන්ද්‍රසිරි අමතා කීවේය.
”බොහොම ස්තුතියි. මිස්ටර් ගුණධීර. ඒ වුණාට මට නං ඒවා ආයෙත් කියවද්දි ගොඩක් දුක හිතුණා.” චන්ද්‍රසිරි ශෝකයෙන් පිළිතුරු දුන්නේය.
”මොනවා පුදුමයි! මම නං ඒවා කියවල හොඳට සන්තෝස වුණා නෙ.” ගුණධීර පුදුමවෙමින් කීවේය.
”මට දුක හිතුණේ ඒවා කියවලා නෙමෙයි. ඒවට ගෙවන මුදල මතක් වෙලා” චන්ද්‍රසිරි කීවේය.

1 comment:

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.