සිළුමිණ සිනා කතා / Silumina Jokes



ගන්න එකයි ඇත්තෙ


එක් අතකින් බර සාගත මල්ලක් ඔසවාගෙන අනෙක් අතින් වහලේ පොල්ලක එල්ලීී සෙනඟින් පිරුණු බස් රථයේ ඉතා අසීරුවෙන් ගමන් කරමින් සිටි මහලු කාන්තාවක් වෙත, බසයේ පිරී සිටි සෙනඟ දෙපසට තල්ලු කරමින් ළඟා වූ කොන්දොස්තර කොලුවා මෙසේ කීය.
”කොහෙටද ආච්චි යන්නෙ? ඉක්මනට ගන්ඩ සල්ලි”
”දැන් සල්ලි අදින්ඩ අමාරුයි ළමයො. මං බහින කොට දෙන්නං” ස්ත්‍රිය පොල්ලේ එල්ලී සිටිමින්ම කීවාය.
”අදින්ඩ අමාරු සල්ලි බස් එකට නගින කොට අතේ තියාගන්ඩ දැනගන්ඩ එපායැ” කොන්දොස්තර ස්ත්‍රිය දෙස රවා බලමින් බුරන්නට විය.
”ආ.. මේ හැට්ටෙ අස්සෙ මගෙ හැඹිලිය තියෙනවා. ඒකෙන් සල්ලි ගන්න එකයි ඇත්තෙ” කාන්තාව මහ හ¼ඩින් කීවාය.

අයින් වුණාම ලාබයි


”බන්දුල ඊයෙ මම හේරත්ගෙ අලුත් නාට්‍යය බලලා හෝල් එකෙන් එළියට ආවේ පුදුම වෙලා. ඔය නාට්‍යය ගැන මම කියවපු දැන්වීම් පත්‍රිකාවකත් තිබුණනෙ ඔයා ඒකෙ රඟපානවයි කියල. මම දැක්කා ඔය නාට්‍යයේ කටවුට් එකක්. ඒකෙත් හිටියේ ඔයානෙ. ඒ වුණාට නාට්‍යය බලද්දි ඒකෙ ඒ චරිතෙ කළේ වෙනින් නළුවෙක්නෙ. මොකද ඇත්තට වුණේ?” චන්ද්‍රසිරි දිනක් උදෑසන දුරකථනයෙන් බන්දුලට කතාකොට ඇසීය.
”ඒක චන්ද්‍රසිරි, මේ විනාඩි 15ක විතර පොඩි චරිතයක්. මගෙ ජ්‍යෙෂ්ඨත්වයත් සලකලා, චරිතෙ පොඩි වුණත් මට ෂෝ එකකට රුපියල් 3000ක් දෙන්නම් කියල හේරත් කිව්ව හින්දයි මම ඒකට කැමැති වුණේ.
පස්සෙ නාට්‍යය පෙන්නන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මිනිහා මට කතා කරලා කිව්වනෙ ෂෝ එකක් පෙන්නන කොට රුපියල් 4000/-ක් දෙන්නං, මට අයින්වෙන්ඩ කියල. ඉතින් මං අයින් වුණා” බන්දුල විස්තර කළේය.

දැම්මේ කවදද?


ඊයේ පෙරේදා තම දියණිය හා විවාහ වූ බෑණනුවන්ගේ දෙමාපියන් පසුදා තම නිවෙසට පැමිණෙන බැව් දන්වා තිබූ බැවින් චාන්දනී, සවස කුමාරසිරි සමඟම සුපිරි වෙළෙඳසලක් වෙත ගියේ ඒ සඳහා අවශ්‍ය කළමනා සියල්ලම මිලදී ගැනීමේ අදහසිනි.
ඇය බිත්තර ගබඩා කර තිබූ රාක්කය වෙත ළංවී එතැන සිටි සේවිකාව ගෙන් මෙසේ ඇසුවාය.
”මේවයෙ දින වකවානු එහෙම කොහොමද ළමයො?”
”මේකෙ තියෙන්නෙ ඔක්තෝබර් 15 කියල. ඒ කියන්නෙ මේ බිත්තර මෙහෙට දාලා තියෙන්නෙ ඊයෙ.” එම රාක්කයේ වූ සටහන් පිරික්සා බැලූ සේවිකාව පැහැදිලි කළාය.
”ඒක හරි. ඒත් කිකිළි බිත්තර දාලා තියෙන්නෙ කවදාද?” චාන්දනී එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවී ඇසුවාය.

ඕස්ට්‍රේලියාවේ ඇපල්


”පුදුම නෑමක්නෙ රෝහණ, ඔයාගෙ නාට්‍යයේ මංගල දර්ශනයෙදි අපෙ බැද්දෙගෙදර නෑවේ. නාට්‍යයකදි දෙබස් මතක නැති එක ලොකු අඩුපාඩුවක් තමයි. ඒකට සමාවක් තියෙනවයි කියමුකො. ගීතවල වචන මතක නැති එක? ගායකයෙක් වෙලත් ශ්‍රැතියට කියන්ඩ බැරි එක? ඩිරෙක්ටර් විදියට ඔයාට තිබුණනෙ පුහුණුවීම්වලදි ඔය තත්ත්වය දැකලා මිනිහව නාට්‍යයෙන් අයින් කරන්න” චන්ද්‍රසිරි එසේ කීවේ ඊට පෙර දින නැරඹූ නාට්‍යයක මංගල දැක්ම පිළිබඳව එහි අධ්‍යක්ෂ රෝහණ පසුදා හමුවී කළ විමසීමේදීය.
මේ නාට්‍යය තව ටික දොහකින් ඕස්ට්‍රේලියාවේ පෙන්නනවනෙ. දෙබස්, ගීත මතක නැති වුණාට මිනිහා දවස ගාණේ රිහසල් ආවනෙ.
ඇවිත් කතාකරන්නෙම ඕස්ට්‍රේලියාවේ ඇපල්වල කොලිටි එක ගැන. ඉතින් කොහොමද මූණ බලාගෙන කියන්නෙ නවතින්ඩයි කියලා.” රෝහණ කීවේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.