සිළුමිණ සිනා කතා / Silumina Jokesලිඛිත දෑ, විකට



බලන්ඩ දෙයක් නෑ


ඉහෙන් බහින රෝගයක් නොමැතිව බජාර් එකේ රජ කරමින් සිටි පච්ච සිරා හිටි ගමන් සැදුණු පපුවේ අමාරුවක් හේතුවෙන් වහාම රෝහලට ඇතුළත් කරනු ලැබීය. රෝගියා වෙත කිට්ටු වූ වෛද්‍යවරයා ඒ ආසන්නයේ හැඬුම්බරව සිටි පච්ච සිරාගේ බිරිය දෙස බලා මෙසේ කීවේ ය.

“මට ලෙඩාගෙ පපුව පොඩ්ඩක් බලන්ඩ ඕනෙ.”
“බලන්ඩ දෙයක් නෑ සර්. මේ පපුවෙ ඉරිසියාව, ක්‍රෝධය නෑ. කැපිලි කෙටිලි නෑ. බොරු සෝබන නෑ. මේක හොඳ ඔරිජිනල් පපුවක්” සිරා කෙඳිරි ගාමින් කීවේ ය.

සල්ලි මොකටද?


තම බිරියගේ ඉවරයක් නැති නියෝග වලින් මඳ ඉස්පාසුවක් ලත් ලක්ෂ්මන් සාලයේ සැටියකට බර දී සති අන්ත පුවත්පතක් කියවන්නට සූදානම් වූ සැණෙකින් ම දුරකථනය නාද වන්නට විය. බලවත් නොරිස්සුමකින් නැගිට දුරකථනය වෙත ගිය හෙතෙම රිසිවරය කනට ළංකර ගත්තේ ය.
“හලෝ, ඔය මිස්ටර් ලක්ෂ්මන් ද?” එහා පැත්තෙන් ඇසුණි.
“ඔව්... ඔය කවුද කතා කරන්නෙ?” ලක්ෂ්මන් ඇසීය.
“මම කව්ද කියල තමුසෙට වැඩක් නැහැ. හැබැයි මෙන්න මේක හොඳට මතක තියා ගන්නවා. අද රෑ වෙන්ඩ කලින් තමුසෙ අපිට රුපියල් ලක්ෂ 10 ක් නොදුන්නොත් අපි තමුසෙගෙ නෝනව පැහැරගෙන යනවා...” දුරකථනය එහා පැත්තෙන් කිසිවකු තර්ජනාත්මකව කියද්දී ඔහුගේ කතාවට බාධා කළ ලක්ෂ්මන් “පොඩ්ඩක් ඉන්ඩ සහෝදරයා...” යනුවෙන් කියා නිවෙස තුළ සිටි තම බිරියට උස් හ¼ඩින් මෙසේ කීවේය.
“චමරි, ඔයාගෙ ඔය ඇඳුම් පැළඳුම් ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට පැක් කරලා තියා ගන්ඩ. ඔයාව එක්ක යන්ඩ කවුදෝ කට්ටියක් එනවලු.”


ගල්කණු පෙරළීම


අටමස්ථානය වදින්ඩ ආ චමරි තම මෝටර් රථය නවත්වා තැබුවේ මාලිගාවක නටබුන් ලෙස ඉතිරි වූ ගල්කණු පිහිටි පෙදෙසක ය. ඈ වාහනය නැවැත්වූ ස්ථානයට යාබදව බිම සිට අහසට නැඟුණු ගල්කණුවක් සහ පෙරළුණු ගල් කණුවක් විය.
තම සැමියා සහ දරු දෙදෙනා සමඟ අටමස්ථානය වැඳීමෙන් පසු චමරි ආපසු පැමිණ රියැදුරු අසුනට ගොඩ වෙද්දී ගල්කණු දෙක සහ මෝටර් රථය දෙස මාරුවෙන් මාරුවට බලමින් සිටි මහලු කාන්තාවක් චමරි වෙතට සමීපව උච්ච ස්වරයෙන් මෙසේ කීවා ය.
‘නෝනෙ, තමුන්ට මේ වාහනේ හරියට ආං බාං කරගන්ඩ බැරි නං තමුන්ගෙ මිනිහට ඒක පවරන එක නේද නුවණක්කාරකම? මේ ගල්කණුවේ ඔය කාරෙක හප්පලා, ඒක බිම දැමීම එක සුළු පටු අපරාධයක් ද, මං අහන්නෙ.”


දැනුත් එහෙමනෙ


මනෝ, දැදිගමගේ යකඩ බඩු කඩයට ගොඩ වනවිට, දැදිගම තම දෙකකුල් මේසය මත රඳවා ගෙන, පුටුවේ හරිබරි ගැහී, දෑස් බාගෙට පියාගෙන, ගුවන් විදුලියේ ප්‍රචාරය වෙමින් පැවති හින්දි ගීතයක් රස විඳිමින් කූල් පිට සිටිනවා දැක මෙසේ කීවේ ය.
“දැදිගම ඔහොම නං වෙළෙඳං කරන්ඩ බැහැ. කඩේ ටිකක් පිළිවෙළකට අස්පස් කරලා, කස්ටර්මර්ස්ලට හොඳින් කතාබහ කරල පුළුවන් තරම් ඉක්මනට ඒ ගොල්ලො ඉල්ලන දේවල් දීලා දුවලා පැනලා ඔය රාජකාරිය කරන්ඩ එපායැ.”
“ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නෙ මනෝ මහත්තයා?” දැදිගම කූල්පිටම ඇසීය.
“එතකොට ඔය වෙළෙඳාමෙන් හුඟක් ලාබ ගන්ඩ පුළුවන්... මනෝ කීවේ ය.
“එතකොට මොකද වෙන්නෙ?” දැදිගම තවත් ප්‍රශ්නයක් නැඟීය.
“ඒ ලැබෙන ලාබෙන් ලොකු යකඩ බඩු කඩයක් දාලා තොගයි සිල්ලරයි වෙළෙඳාම් දෙකම කලෑකිනෙ” මනෝ පැහැදිලි කළේ ය.
“හොඳයි ඊට පස්සෙ...?” දැදිගම ඇසීය.
“ඉතින් ඊට පස්සෙ ලොකු බංගලාවක් හදාගෙන දෙයියනේ කියල කූල්පිට ජොලියෙ ඉන්ඩ පුළුවන් නෙ” මනෝ කීවේ ය.
“ඉතින් මනෝ මහත්තයා මම දැනුත් එහෙමනෙ ඉන්නෙ” දැදිගම සිනාසෙමින් කීවේ ය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.