සිළුමිණ - කලාබර සිනාවත


ලොතරැයි කැසීම


ලුවොලින් වැන්ඩවෝල් ඉතා දක්‍ෂ වේදිකා පසුතල නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුලින්ම මුණගැහුණේ 90 දශකයේ මුල් භාගයේ ප්‍රසන්ත විතානගේ ගේ ‘ද්විÀව‘ නාට්‍යයේදි. එහි වේදිකා පසුතල නිර්මාණය කළ ලුවොලින් චිත්‍රපට සඳහා ද දැවැන්ත පසුතල නිර්මාණය කළ ශිල්පියෙක්. අපි කවුරුත් ‘ලුවා’ යන ආදර නාමයෙන් හැඳින් වූ, බර්ගර් ජාතික තරුණයකු වූ ඔහු ඉතා පි‍්‍රයමනාප අයකු වුණා.

එක් වසරක් අවසන් වී නව වසරක් එළැඹෙන්නට ආසන්නයේ දිනෙක ‘ද්විÀව‘ නාට්‍යයේ දර්ශන 2 ක් සඳහා බදුල්ල බලා යමින් සිටියදී ලුවා මෙන්න මෙහෙම කිව්වා.
’ප්‍රසන්න, අපි ෆිල්ම්ස් වල සෙට්වලින් එක අවුරුද්දකට කොයිතරම් නං මුදලක් හම්බකරනවද? ඒත් කනවා, බොනවා, ජොලි කරනවා මිසක් කිසිම ඉතුරුවක් නැහැනෙ. ඒක පාඩමකට අරගෙන, ලබන අවුරුද්දෙවත් හොඳ අඩිපාලමක් දාලා වැඩ කරන්ඩ ඕනෙ.’
ඔහුගෙ කතාව අහගෙන හිටිය හැමෝම හූ කියකියා හිනාවෙන්ඩ ගත්තා.
’මොකද උඹලා හිනා වෙන්නෙ. මං කිව්වේ වැරදි දෙයක් ද?’ ලුවා නහය රතු කරගෙන කේන්තියෙන් ඇහැව්වා.
’උඹ කිව්වේ වැරදි දෙයක් නෙමෙයි. කිව්ව විදියයි වැරදි. ලුවා, හොඳ ෆවුන්ඩේෂන් එකක් ඇතුව ලබන අවුරුද්දේ වැඩ කරන්ඩ ඕනෙ කියන එකනෙ උඹ කිව්වේ. ෆවුන්ඩේෂන් කියන්නෙ ලුවා, ‘අඩිතාලම’, ‘අඩිපාලම’ නෙමෙයි.’ ප්‍රසන්න සිනාවෙමින් පැහැදිලි කළා.
ඔය ගමනෙදිම උදේ කෑමට අතරමඟ හෝටලයක් ළඟ බස් එක නතර කළාම නාට්‍ය කණ්ඩායමේ කීප දෙනෙක් ඒ අසල ලොතරැයි කූඩුවක, ලොතරැයි ටිකට් සූරනවාත්, ලුවා ඒ දෙස අවඥාවෙන් මෙන් බලා සිටිනවාත් දුටු මම ඔහුගෙන් මෙහෙම ඇහැව්වා.
’ලුවා මොකද ලොතරැයියක්, දෙකක් ගන්ඩ අදහසක් නැද්ද?’
’අපොයි මතක් කරන්ඩ එපා. උඹට කියන්ඩ එඩ්වඩ්, ගිය සුමානෙ මම ලොතරැයි 10 ක් ම අරගෙන කැසුවා. එක රුපියල් 10 ක් හම්බවුණේ නැහැ මචං.’ ලුවා කියද්දි අවට සිටිය අය බඩ අල්ලාගෙන හිනාවෙන්ඩ ගත්තා.’
” ’කසනවා කියන්නෙ මේකට නෙ ලුවා.’ මම අතක් කසා පෙන්වමින් ලුවාට කිව්වා. ලොතරැයි ‘කසනවා’ නෙමෙයි ‘හූරනවා’.”
වරක් ලුවා ශේක්ස්පියර් නාට්‍යයක සිංහල නිෂ්පාදනයකට වේදිකා පසුතල නිර්මාණයෙන් දායක වුණා. දැවැන්ත නාට්‍ය නිර්මාණයක් වූ ඒ සඳහා ලුවා අතින් වේදිකාවේ මාලිගයක් ඉදිවුණා. වේදිකාව මත එක් එක් උස් ප්‍රමාණයෙන් තල 3 ක් නිර්මාණය වුණා. අවශ්‍ය එක් එක් උස ප්‍රමාණවලින් යුත් ලී රාමු වලට ඝන ප්ලයිවුඩ් ෂීට්ස් සවි කිරීමෙනුයි ඒ තල සම්පූර්ණ කළේ. මෙම පසුතලය නිම කිරීම සඳහා රුපියල් පනස් දහසක් පමණ වැය වුණා. එකල එය අති විශාල මුදලක්. නාට්‍යයේ මංගල දර්ශන පැවැත්වෙද්දී පසුතල සඳහා වූ ලුවාගේ ඇස්තමේන්තුවෙන් රුපියල් අටදහසක හිඟ මුදලක් ඔහුට ලැබීමට තිබුණා. නාට්‍යයේ නිර්මාපකයා පොරොන්දු වුණේ මංගල දර්ශනවල අවසන් දිනයේ එම හිඟ මුදල ලබා දෙන බවයි.
මංගල දර්ශන නිමා වුණත් ලුවාගෙ හිඟ මුදල ලැබුණේ නැහැ. ඊළඟ දර්ශනවලදි ඔහුගේ මුදල් ලබාදෙන්නට නිෂ්පාදකවරයා පොරොන්දු වුණත් ඒ මුදල් ලැබීම දවසින් දවස කල්ගියා. ඊළඟට කුරුණෑගල නාට්‍ය දර්ශනයක් යෙදුණා. කුරුණෑගල ගිය ගමන් ම ලුවාගෙ මුදල් දෙන බව නිෂ්පාදකවරයා පොරොන්දු වුණා.
නාට්‍ය කණ්ඩායම කුරුණෑගලට ළඟාවී වේදිකා පසුතල සවිකිරීම ඇරඹුණා. ලුවා තම හිඟ මුදල ගැන නිෂ්පාදකට මතක් කළා.
’හරි මල්ලි හවස උඹේ සල්ලි ෂුවර් එකට දෙනවා.’ නිෂ්පාදකවරයා සුපුරුදු පිළිතුර දුන්නා.
’නෑ අයියා, ඒ සල්ලි දැන් ඕනෙ, සෙට් එක සම්පූර්ණ කරන්ඩ.’ ලුවා කිව්වා.
’ඇයි සෙට් එක දැන් හරිනෙ.’ නිම වෙමින් පවත්නා වේදිකා පසුතලය දෙස බලමින් නිෂ්පාදක කිව්වා.
’පිස්සුද අයියා. අර ලී රාමු වලට ෆිට්කරන ප්ලයිවුඩ් ෂීට් ටික මම අද කොළඹ වෙන වැඩකට දුන්නා. අයියා මෙහේදි ෂුවර් එකටම සල්ලි දෙනවා කිව්වනෙ. දැන් ප්ලයිවුඩ් ෂීට්ස් කඩෙන් ගෙනැල්ලා ඕනෙ සෙට් එක සම්පූර්ණ කරන්ඩ.’ ලුවා කිව්වා.
බැලින්නං වේදිකාවේ තට්ටුවල ලී රාමු විතරයි. උඩ කොටස් හිස්. ඒක දැකලා නිෂ්පාදකවරයාට තරු පෙනුණා. ඔහු වහාම කුරුණෑගල නාට්‍ය සංවිධායකට කතා කරලා හවසට ලැබිය යුතු මුදලින් රුපියල් අට දහසක අත්තිකාරම් මුදලක් අරගෙන ලුවාට දුන්නා. ලුවා සල්ලිත් අරගෙන කුරුණෑගල ටවුමට ඉගිල්ලුණා.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.