සිළුමිණ සිනා කතා / Silumina Jokes

කලින් ඕනෑ මොකද්ද?


‘වසන්තා මට ඔය ගිනි පෙට්ටිය ගෙනත් දෙන්ඩ.’
නලීන් සමඟ වාර්තාවක් සකස් කරමින් සිටි මනෝ කීවේ සිගරැට්ටුවක් දෙතොල් අතර රඳවා ගනිමිනි.
‘ආ ඔන්න ගිනි පෙට්ටිය. ඕකෙ එකම එක ගිනි කූරයි තියෙන්නෙ. සිගරට් පත්තු කරලම ගිනිපෙට්ටිය ඉවර වෙලා.’ වසන්තා ඔහු වෙත ගිනි පෙට්ටිය දිගු කළේ වගපල කියමිනි.
‘ගිනිපෙට්ටිය ඉවරනම්, කුස්සියෙ අඩුපාඩු මොනවද බලලා, ඒවත් එක්ක ගිනිපෙට්ටි දෙක තුනකුත් ගෙනාවම ඉවරනේ.’ මනෝ කීවේ තම බිරිඳ දෙස බලමිනි.
තමුන් ඔය සිගරට් බොන විදියට ගිනි පෙට්ටියකට ඉස්සෙල්ලා ඕනෑ වෙන්නෙ මිනි පෙට්ටියක්.’ වසන්තා ගස්සා ඉවත යමින් කීවාය.
 

ප්‍රේක්ෂක ප්‍රතිචාර


‘අද මුදලාලි, නාට්‍ය බලන්ඩ එන අය ඔය මොනවා හරි සුළු කෑමක් හපනවා, තේ එකක්, බීම බෝතලයක් බොනවා මිසක්, උයන්ඩ පිහන්ඩ ගන්න දේවල් කැන්ටිමෙන් ගෙනියන්නෙ නෑනේ.’ චන්ද්‍රසිරි පුදුමයෙන් ඇසුවේ රඟහලේ කැන්ටිමෙහි විකිණීම සඳහා තබා තිබූ තක්කාලි ගෝනිය සහ බිත්තර පෙට්ටිය දෙස බලමිනි.
‘මහත්තයා බණ කතා කරනවා. ඔය ඉන්ටවල් එකේදි බනිස්, මාළු පාන්, වඩේ, තේ, සිසිල් බීම වගේ දේවල් විකිණෙනවා තමයි. ඒ වුණාට නාට්‍ය ඉවර වෙන්ඩ කිට්ටුව මිනිස්සු පුදුම විදිහට තක්කාලි, බිත්තර වගෙ දේවල් ඉල්ලගෙන එනවනෙ.’ මුදලාලි කීවේය.
 

සංසාරේ! සංසාරේ!!


‘අනේ අප්පේ! සංසාරෙක හැටි.’ මානසික ආතතියක් හේතුවෙන්, මානසික රෝහලට ඇතුළත් කර සිටි තම අසල්වැසියකු බැලීමට තම නැන්දම්මා සමඟ අංගොඩ මානසික රෝහල වෙත ගිය දැදිගම, රෝහල් කොරිඩෝවේදී නැන්දණිය හදිසියේම නැවතී විස්සෝප වනු දැක මෙසේ ඇසුවේය.
‘ඇයි අම්මේ, මොකද?’
‘අනේ බලපං පුතේ, අර සුදු ජාතික ඇඳුමක් ඇඳලා, මල්මාලයක් කරේ දාගෙන, හැමෝටම ආචාර කර කර යන මනුස්සයා දැක්ක ද?’ නැන්දණිය කීවේ කම්පා වෙමිනි.
‘ඇයි අම්මා අැඳින්නේ නැද්ද? ඒ අර, පහුගිය ඡන්දෙදි දිනනවමයි කියල හැම තැනකම කටවුට් ගහලා ලොකු වියදමක් කරලා, අන්තිමේදී පැරදුණු මනුස්සයනේ.’ දැදිගම කීවේය.
 

ප්‍රතිචාර


කාර්යාලයේදී අධික ලෙස වෙහෙසී නිවෙසට පැමිණි පසු, සාලයේ රූපවාහිනිය ඉදිරියේ දිග ඇදී තේ කෝප්පයක් තොලගාමින් ටෙලි නාට්‍ය නැරැඹීමට පුරුදු වී සිටි හේමා, දිනක් ටෙලි නාට්‍යයක විරාමයකදී, සාලයේ වාඩිවී පොතක් කියවමින් සිටි උපාලි ගෙන් මෙසේ ඇසුවාය.
‘අර ටෙලි නාට්‍ය කීපයකම හාමුදුරුවන්ගෙ චරිත රඟපාපු නළුවා ළඟදී මහණ වුණාලු නේද?’ ‘ඔව්, මිනිහා මහණ වුණු එක ඇත්ත. හැබැයි මිනිහා ඒ වගේ චරිත රඟපානවා දැකලා හුඟ දෙනෙක් ආගම අතහැරලා තියෙනවා.’ උපාලි කීවේය.
 

මේ පාරත් දුවෙක්


‘විනුදි, දුවේ ඔයාට ඕනෙ නංගියෙක් ද එහෙම නැත්තං මල්ලියෙක් ද?’ තව නොබෝ දිනකින් ගැබ්බරින් නිදහස් වීමට නියමිත ආශා. සාලයේ දිගඇදී චිත්‍රයක් අඳිමින් සිටි තම දියණියගෙන් ඇසුවාය. මව දෙවරක්ම එම පැනය නැගීමෙන් අනතුරුව චිත්‍ර පොත දෙස බලාගෙනම විනුදි මෙසේ පිළිතුරු දුන්නාය.
‘මම කැමැති කාට ද කියල වැඩක් නැහැනේ.’
‘මොනවා! වැඩක් නැහැ? ඇයි ඒ?’ ආශා ඇසුවේ පුදුමයට පත්වෙමිනි.
‘ඇයි අම්මිට මතක නැද්ද, අර ස්කෑනිං රිපෝට් එක බලලා ඩොක්ටර් අංකල් කිව්වා, ‘මේ පාරත් ඔයාට දුවෙක්’ කියලා.’ විනුදි පිළිතුරු දුන්නීය.
 

බුද්ධිමතුන්ගෙන් විතරයි


‘ලංකාවේ විශ්ව විද්‍යාලවලින් කිසිම බුද්ධිමතෙක් බිහි කරලා නැහැ කියල අමරසේකර උන්නැහේ තමුසෙලගෙ පත්තරේට කිව්ව කතාව ගැන දැන් ටික දොහකට කලින් තමුසෙලගෙ පත්තරේම කීප දෙනකුගෙ අදහස් පළ කරලා තිබුණනෙ. කෝ ඒ ගැන තමුසෙලා මගෙන් මුකුත්ම ඇහැව්වේ නැහැනෙ.’ සම්මන්ත්‍රණයකදී මුණගැසුණු සුනිල් ගෙන් මහාචාර්යවරයා ඇසුවේය.
‘නෑ ප්‍රොෆෙසර්, අපි ඒ ගැන අදහස් විමසුවේ බුද්ධිමතුන් ගෙන් විතරයි.’ සුනිල් කීවේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.