සිනා කතා

ඒකයි ආවේ

“සර් මම, මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු එක ගැන බෞද්ධ චිත්‍රපටියක් කළේ ලොකු ශ්‍රද්ධාවකින්, ඒ වගේම භක්තියකින්. එහෙම නැතුව ඒ කාලෙ ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ නම්වලින් මගේ චිත්‍රපටිය හඳුන්වන්න මට කිසිම ඕනෙකමක් තිබුණෙ නෑ
සර්. ‘මිහිඳු’ කිව්වාම ගණ අප්සෙට් හින්දයි ‘මහින්ද’ කියල දැම්මේ. මගෙ නං ඒකට ඒ තරං කැමැත්තක් තිබුණෙත් නැහැ.” තම හිතවතකුගේ මාර්ගයෙන් අලුත් ලොක්කා වෙත කිට්ටු වූ ඔබේසේකර දෙකට නැමී කීවේය.
“වැල්වටාරම් නැතුව කියමුකො බලන්ඩ, දැන් මගෙන් මොනව ද බලාපොරොත්තු වෙන්නෙ කියල.” ලොක්කා කීවේ නැගී එන නොරිස්සුම ආයාසයෙන් මැඬ පවත්වා ගනිමිනි.
“මම බොහොම අපූරු බෞද්ධ තේමාවකින් අලුත් චිත්‍රපටියකට තිරනාටකයක් ලියලා ඉවර කළා, ඊයෙ. මම ඒක නම් කළේ ඊළඟට ‘මෛත්‍රී බුදුහාමුදුරුවෝ’ කියල. ඒක කරගන්ඩ උදව්වක් ගන්ඩයි මේ ආවේ.” තවදුරටත් දෙකට නැමෙමින් ඔබේසේකර කීවේය.
 

වෙලේ සුදා

අලුත් නාට්‍යයක පුහුණුවීම් අතරතුර ලත් විරාමයකදී, පුහුණුවීම් සිදු කෙරුණු ශාලාවේ මිදුලේ පැවැති අඹ ගස යට කණ්ඩියේ හිඳ පෙම් බස් දොඩමින් සිටියදී සෙනෙවි, තම පෙම්වතියට මෙසේ කීවේය.
“ඔන්න තුෂාරි මම ආයෙ නොකීවයි කියල හෙම කියන්ඩ එපා. ඔයා මීට පස්සෙ මට, මගෙ සුදා, අර සුදා, මේ සුදා කියලා කතා කරන එක නවත්තන්ඩ ඕනෙ, තේරුණා ද?”
“ඇයි අනේ, එහෙම කතා කරන්නෙ ඔයාට තියෙන ආදරේ හින්දානෙ.” තුෂාරි තොදොල් වෙමින් කීවාය.
පේනවා නේද අර වෙලේ සුදා කරලා තියෙන හරිය. අර සුදා, මේ සුදා කිව්වම මාත් වෙලේ සුදාගෙ ගාණටම වැටෙනවයි කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද?” සෙනෙවි කීවේ මැඬගත් කෝපයෙනි.
 

භාගයක් ඇති

“මේ ඕයි, අපෙ දුව කියනවා ලබන සුමානෙ අලුත් ගෙදර පදිංචියට යන්ඩ ඕනෙ කියල. දුවලට ඕවා ගැන තේරුමක් නැති හින්දා අපි මූලික වෙලාවත් වරු පිරිතක් කියවමු නේද? නරක ද දුවටත් කියලා, හවස් කරේ පන්සලට ගිහින්, ලොකු හාමුදුරුවො එක්ක කතා කරලා ඒක එකලාසයක් කළොත්?” චාන්දනී උදේ තේ බොමින් සිටි තම සැමියා හට කීවාය.
“ඒ ගොල්ලො දැන් ඔය අලුත් ගෙදර පදිංචි වෙන්ඩ හදන්නෙ ගෙයින් භාගයක විතරක් වැඩ ඉවර කරලනෙ චාන්දනී. ඒ හින්දා වරු පිරිතක් ඕනෙ නෑ. වරු බාගෙක පිරිතක් කියෙව්වාම ඇති.” ජයරත්න පිළිතුරු දෙමින් කීවේය.
 

ඇත්තටම හැදුවේ කොහේද?

“බලනවකො බාසුන්නැහේ, මේ ගෑස් ළිප ‘ජපානයේ සාදන ලදී.’ කියල ලොකු අකුරෙන් ගහලා තිබිලත් එක හය මාසයක් හරියට පාවිච්චි කරන්න බැරිවුණානේ.” ක්‍රියා විරහිත වූ තම ගෑස් ළිප, ගෑස් ළිප් අලුත්වැඩියා කරන විජිත බාස් වෙත ගෙන ගිය ලකී කීවේය.
විජිත බාසුන්නැහේ ළිප අතට ගෙන හොඳින් පරීක්ෂා කර බලා එය බිමින් තබා ඔලොක්කු සිනාවක් පාමින් මෙසේ කීවේය.
“ලොකුවට ගහලා ‘ජපානයේ සාදන ලදී.’ කියල, ඊට යටින් ‘කියන භාණ්ඩවලට වඩා හොඳින් ඉන්දියාවේ නිපදනා ලදී.’ කියල පොඩි අකුරෙන් ගහලා තියෙනවා, ඔහේ දැක්කෙ නැහැ නේද ලකී මහත්තයා.”
එහෙම කිව්වොත් ඇහෙයි
“ඔබ රික්තයක ඉන්නකොට කවුරුහරි කෙනෙක් ඔබේ නම කියල කතා කරනවා. ඒක ඔබට ඇහෙනව ද?” චමරි ගුරුතුමිය ශබ්දය ගමන් කිරීම පිළිබඳ පාඩමකදී ළමයින් ගෙන් ඇසුවාය.
“මේ අපේ ලකියා කතා කරනවා වගෙ කට අරින්නේ නැතුව කිව්වොත් ඇහෙන එකක් නැහැ. ඒත් ටීචර් ඔය කියවනවා වගෙ මහ හයියෙන් කිව්වොත් ඇහෙයි” පන්තියේ කටකාර සිසුවකු වන රන්ජිත් පිළිතුරු දෙමින් කීවේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.